Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Sep 8, 2013

බැදීම් නැති ලෝකයක් කරා.


මාස එකහමාරකටත් වැඩි කාලෙකට පස්සේ වලව්ව පැත්තට ගොඩ වුනේ පහුගිය කාලෙම අන්තර්ජාලයෙන් ඉවත් වෙලා හිටිය නිසයි. ඇත්තෙන්ම ඉවත් වෙලා හිටියේ වෙන කාරණාවක් නිසා නම් නෙමෙයි වසන්ත නිවාඩුවට ලංකාවට ඇවිත් කා‍ර්ය බහුල වුන හින්දා. ඒ ගත කරපු කාලේ නම් බ්ලොග්, ෆේස්බුක්, වගේ අන්තර්ජාලය ගැන කිසිම මතකයක් තිබ්බේ නෑ. ඒ මාසෙට මට ඕනේ වුනෙත් ඇත්තෙන්ම මේ අන්තර්ජාල ජීවිතයෙන් මිදිලා සැහැල්ලුවෙන් ඉන්න. සමහර වෙලාවට අන්තර්ජාලය ගොඩක් වටිනවා වුනාට තවත් වෙලාවකට ඒක එක්තරා විදියක මානසික හිරිහැරයක් කියලයි මට නම් හිතෙන්නේ.


පිටරට ඉන්න නිසා අපිට හිතෙන්නේ ලංකාවේ හැමෝම අන්තර්ජාලයේ ඉන්නවා වගේ. ඒත් එහේදී තමයි දැනෙනේ බ්ලොග් කියවන, අන්තර්ජාලයේ බොහෝ වෙලාවක් ඉන්න අය ගොඩක් අඩු බව. පිටරට නෑයන් ඉන්න හැමෝම වගේ කතා බහ කරන්න ඒ ඒ සමාජ ජාල භාවිතා කරාට බ්ලොග් වගේ දේවල් නම් කියවනවා ගොඩක් අඩුයි කියලයි මට නම් හිතෙන්නේ.

ඉතින් කොහොමින් හරි නිවාඩු කාලය ගෙවිලා ගියේ පියාඹලා වගේ. ආපහු එන දිනය ලංවෙනකොට නම් හිතට දැනුනේ දරාගන්න බැරි දුකක්,බරක්. ඒත් ඉතින් මොනා කරන්නද? එන්නම ඕනේ නිසා අකමැත්තෙන්ම ආවා. හැමදාම වගේ ගුවන්තොටුපලේදී දකින අම්මාගේ කදුලු පිරිච්ච ඇස් මතක් වෙද්දී නම් ආපහු දුවන්න හිතෙන්නේ හැමදේම අතඇරල.

ඒත් අම්මම කියනවා. "ඔයා පොඩි ලමයෙක් නෙමෙයි,ජීවිතේට තනියෙන් මූන දෙන්න ඔයාට පුලුවන් වෙන්න ඕන"කියලා ඒක නිසා ආයෙත් දුවන් ගියත් අම්මම කියයි ආපහු යන්න කියලා. වෙලාවකට නම් හිතෙනවා බැදීම් කියන්නේ ලොකු දුකක් කියලා. ඇත්තෙන්ම බැදීම් නිසානේ අපි හැමදාම විදවන්නේ. ඒත් බැදීම් නැතිව සාමාන්‍ය මනුස්සයෙක්ට ජීවත්  වෙන්නත් බෑනේ. බැදීම් නැති කෙනෙක් ලොකු මානසික සහනයකින් ජීවත් වෙනවා ඇති කියලා මට හිතෙනවා.

බැදීම් ගැන කියුවත් දැන් අපේ රටේ වගේම මේ ලෝකේ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ බැදීම් ගොඩක් අඩු කරගෙනද කියලත් මට වෙලාවකට හිතෙනව. අපේ රටේ උනත් ඉස්සර තරම්ම මිනිස්සු නෑකම් සහෝදර මිත්‍ර කම් ගැන හිතනවා අඩුයි. හැමෝම ගෙවන්නේ ඔවුනොවුන්ට සීමා වුන ජීවිතයක්.

ආර්ථික ප්‍රශ්න අවිවේකි කම නිසා බොහෝ අය සම්බන්දකම් අඩු කරගෙන තියෙනවද මංදා. ගොඩක් වෙලාවකට ඉස්සර නැදෑ හිත මිතුරන් පිරිවරාගෙන ගිය විනෝද චාරිකා පවා දැන් බොහෝ අය යන්නේ පවුලේ සාමාජිකයන් එක්ක විතරයි. ඒක නිසාම ඉස්සර වගේ පවුල් අතර තියෙන බැදීම් හිතවත් ගොඩක් දුරස් වෙලා.

පවුලක් ඇතුලේ උනත් දෙමව්පියන් රාජකාරිවලට යනවා. ලමයි ටියුශන් ගිහින් අමතර ගෙදර වැඩයි පරිඝනකයටයි හිරවෙනවා. බොහො වෙලාවට හරියකට මූන බලලා කතා කරන්න වෙන්නේ ඉරිදා දවසට විතරයි. ඒත් එදාටත් ලමයිට ටියුෂන් නේ. තවත් ඉදිරියට යනකොට ඇත්තෙන්ම මේ බැදීම් කියන දේවල් ගොඩක් අඩුවෙලා "මම" කියන කෙනා විතරක් ඉතුරුවෙයි.

ඒ කියන්නේ අපි බුදුන් වදාල මග ගිහින් ධර්මය අවබෝධ කරගෙනද? හිතන්න වෙනවා නේද?..





14 comments:

  1. කතාව සහතික ඇත්ත... අම්මා තාත්තා දාලා පිටරට නොගියට රස්සාවට ගිහින් එන දවස් 10ක් විතර තාත්තව නොදැක්කම කතා නොකලාම දැනෙන අප්සට් එකම ඇති පිටරටක ඉන්න කෙනෙක් කොහොම දුකක් තදකරගෙන ඉන්නවද කියලා පුංචි හරි හැඟීමක් හිතට ගන්න...

    කාර්යබහුලත්වය නිසා මගඇරෙන්නේ නෑදෑයො විතරක් නෙමෙයිනේ... යාළු මිත්‍රාදින්ට අඩුගානේ මිස් කෝල් එකක්වත් දෙන්න බැරිවෙනවා... ඒත් මතක් වෙනවා මේකට මිස් කෝල් ගහලා බෑ කෝල් එකක්ම ගන්න ඕන කියලා ඒක විනාඩියෙන් විනාඩිය කල් යැව්වාම මාස තුන හතරකට කතා කරන්න වෙන්නේ නෑ...

    මගෙත් හොඳම යාළුවො කීප දෙනෙක් ඉන්නවා අවුරුදු දෙකකින් විතර කතා නොකරපු... ඔය වෙලාවට තමයි බුකිය පිහිටට එන්නේ.. ඒ තිබිලත් උන්නද මලාද කියලා හොයාගන්න බැරි යාළුවො එමටයි...

    අනාගතේ සැහැල්ලුවෙන් සතුටින් ඉන්න කියලා හිතාගෙන අපි මැරිලා නැහිලා හම්බකලත් අවසානයේ ඉතුරු වෙන්නේ හිස් ගොඩක්දෝ කියලත් මට හිතෙනවා මොකද අපි අනිත් සේරම සබඳතා අමතක කරලා වැඩ කරලා තත්වයකට එන කොට අපේ බොහෝමයක් ලඟම පුද්ගලයන් අපිව දාලා ගිහින් ඉන්න පුළුවන්... විශේෂයෙන් අම්මා තාත්තා... මං හිතන්නේ මොන වැඩේ තිබ්බත් එකම එක කෝල් එකක් ඇතිවෙයි අපේත් අනිත් අයගේත් පසුතැවීම නැති කරන්න...

    අන්න ඒ හේතුව උඩ තමයි හිතෙන්නේ බැඳීම් නැතිව ඉන්න එක අමාරු බව.මොකද කවදම හරි දවසක අපිට මොනයම් හෝ ආකාරයක බැඳීමක් අවශ්‍ය වෙයි සහෝදරයෙක් හෝ මිතුරෙක්... එහෙම නොවෙනවා කියන්න කාටවත් බෑ...

    අද දවසේ බුකියේ කියෙව්වා කියමනක් හරියට මතක නෑ පොතකින් උපුටා ගත්ත එකක් වෙන්ඩෝනා

    සංසාරගත බැඳීමෙන් යුතු පුද්ගලයන් අපේ ජීවිතේට හදිසියෙම ඇවිත් යනවා හරියට තාවකාලික නැවතුම්පොලකට ආපු අමුත්තෙක් වගේ... අපි එයින් පාඩමක් ඉගෙන ගන්න ඕන දුක් වෙන්න තේරුමක් නෑ

    වගේ පේලි ටිකක් තිබ්බේ අදහස ඔළුවට දාගත්තට හරියට වැටිලා නෑ වගේ... මේක දැකලා පුරුදු කෙනෙක් ඉන්නවනම් හරි එක දාන්ඩෝ....

    ReplyDelete
    Replies
    1. ගැමි මල්ලි හිතන දේ මටත් හැම වෙලේම හිතෙනවා. අපි පිස්සුවෙන් වගේ මොකක්ද පිටිපස්සෙන් දුවනවා.හැමකෙනාම ඉන්නේ ලොකුම තරගෙක. කාටවත් අනිත් අය ගැන හිතන්න බලන්න කාලයක් නෑ. දවසක මේ තරඟෙ ඉවර වෙලා හැරිල බලද්දී ලබපු කිසිම දෙයක් නෑ.

      Delete
  2. බුදුන් වදාළ ධර්මය අවබෝධ කරගැනීම කෙසේවෙතත් ආත්මාර්ථය කියන දේ මිනිස්සු තුල පිරී ඉතිරී ගිහින් , කාර්ය බහුල වීම් නිසා අනෙකා ගැන හිතන්න වෙලාවකුත් නැතිවෙලා. ඉතින් පුද්ගලයෝ වශයෙන් තනිවෙලා.

    ReplyDelete
    Replies
    1. අපි එකිනෙකා තුල අතරමං වුන හුදකලා මිනිසුන් වෙලා කියලා ඔයාටත් හිතෙනවද? මම බුදුන් වදාල ධර්මය අවබෝද කරගෙනද කියලා ඇහුවේ උපහාසයට මිසක් ඇත්තෙන්ම එහෙම වෙලා නිසා නෙමෙයි.

      අපි ආත්මාර්ථකාමී වෙලා. ඔයා හරි

      Delete
  3. බැඳීම් ගැන කිව්වොත්, වෙනස් වෙන ලෝකයත් එක්ක හැමදේම වෙනස් වෙන නිසා බැඳීම් පවත්වාගෙන යන ආකාරය වෙනස් වීමකුයි සිද්ධ වෙලා තියෙන්නේ. නැතිව බැඳීම් නැතිව ගිහින් නෙවෙයි. අපි සම්බන්ධව නම් ඇත්තෙන්ම බැඳීම් වැඩි වෙලා තියෙන්නෙ.

    කට්ටියක් එක්ක ට්‍රිප් යෑම නේද? ඒක අපි සම්බන්ධව මෙහෙමයි. අපිත් ඉන්නේ ලංකාවේ නෙවෙයිනේ. ඉතින් ලංකාවට ගියාම අපිත් හරියට සංචාරය කරනවා. ඒක අපිට නිවාඩු වුනාට අනිත් අයට එහෙම නැති නිසා අපි යන යන ට්‍රිප් වලට එයාලව සම්බන්ධ කරගන්න අමාරුයි. අපි කතාකලොත් උන් වැඩ. උන්ගේ වැඩ ඉවරවෙනකල් බලා හිටියොත් අපේ සීමිත නිවාඩුව ඉවර වෙනවා. ඔයත් දන්නවනේ ඒ සති කීපය අපිට කොච්චර වටිනවද කියලා. ඉතින් අපිත් බොහෝවිට ට්‍රිප් යැවෙන්නේ තනියම. මේකෙන් අර නෑදෑයොත් එක්ක තියෙන බැඳීමට පොඩි පළුදු ඇතිවුනත්, පවුලේ අයගේ බැඳීම වැඩි වෙනවා කියලා නම් කිව්වෑකි.

    ReplyDelete
    Replies
    1. ඔව් පිට රට ඉදන් යන අය සම්බන්දයෙන් ඔයා කියන දේ හරි. ඒත් අපේ රටේම ඉන්න අය අතරේ තියෙන බැදීම් ගොඩක් ගිලිහිලා කියලයි මට දැනෙන්නේ. සම්බන්දකම් ඈත්වෙලා, මිනිස්සු කාර්‍ය බහුලවෙලා ඒ වගේම ආත්මාර්ථකාමී වෙලා. මට දැනුනේ එහෙම.

      Delete
  4. සම්පූර්ණ හරි. මට හිතෙන්නේ ලංකාවේ මිනිස්සු බැදීම් නිසා දුක හටගන්නවා, බැදීම් නැත්නම් ඒ දුක නැතිවෙනවා” කියන සංකල්පය හොඳටම තේරුම් අරන් වගේ. හේහ..ඇත්තටම අපි හැමදාම අපේ අතේ ඇගිලි අතර හිර කරගෙන ඉන්නේ. ඒත් කවදාවත් අත මිට මොලවගෙන ඉන්න හොද නෑ. අනිත් අයගෙන් තොරව තමන්ගේ විතරක් ලෝකෙක ජීවත් වෙන්න වෙන්නේ එතකොට. තමන්ගේ වෙලාවෙන් හැකි තරම් කොටසක් අඩු ගානේ අනිත් මිනිස්නු කෙසේ වෙතත් තමන්ගේ පවුලේ තියෙන බැඳීම් ශකතිමත් කරගන්න යොදවන්න ඕන. අම්මා, තාත්ත, දරුවෝ, සීයලා , ආච්චිලා, නැන්දලා, මාමල, බාප්පලා මේ අය ඉන්නවද නැද්ද දන්නැති ලෝකෙක අපි ජීවත් වෙන්නේ. මගෙ අතිනුත් මේ බැඳිම් දුරස් වෙන වැඩ සිද්ධ වුනා. නමුත් දැන් මම ගෙදර නිවාඩුවක් ලැබුනොත් අනිවා ගිහින් ඔය කිව උදවියගෙ වගතුග බලලා එන්න යනවා. අන්තිමට මේ ටික කාලේ ගෙවිලා මැරෙන්න කිට්ටු වුනාම ඒ මිනිස්සුන්ට වගේම අපිටත් සතුටු වෙන්න ඉතුරු වෙන්නේ ඒ මතක ටික විතරයි. ඉස්සරලා පවුලේ බැඳිම ශක්තිමත් කරගන්න එපැයි රටේ ලෝකයේ බැඳිම් ගැන කතා කරන්න.

    ReplyDelete
  5. එක ඇත්ත අද තියෙන හුගක් ප්‍රශ්නවලට ලොකු හේතුවක් තමයි එකිනෙකා අතරේ ඇති බැදීම් වල තියෙන දුරස්ථ කම.
    කෙටි සටහනක් උනත් කියා ඇති දේ ඇත්ත.

    ReplyDelete
  6. ඇත්ත.. අපි තැන් තැන් වල තනි වෙලා ඉන්නෙ.

    මේක හරිම විකාරයක් ඇත්තටම බැලුවොත්..

    ReplyDelete
  7. බුදුන් වහන්සේ ගේ අදහස ඊට වඩා ගොඩක් වෙනස් නේද?

    ReplyDelete
  8. බුදුන්ගේ ධර්මේ තියෙන්නේ දුකම නේ. අනික ඒකේ කියන බැඳිම ඔයිට වෙන අර්ථයක්.. නිකන් තන්හාව තෘෂ්නාව වගේ දේවල්.. එහෙම නැතුව දෙමව්පිය සහෝදර සබඳතා නෙමෙයි.. ඒවා නැතිවීම තමයි රටට වෙලා තියෙන හෙනේ. මිනිස්සු හරිම ආත්මාර්ථකාමී වෙලා තියෙන්නේ. ඒකට වග කියන්න ඕන මේ කාළකන්නි අධ්‍යාපන ක්‍රමයම තමයි.. අවසානයේදී ඒ වගකීම යන්නේ රට කරවන උන්ට.

    ReplyDelete
  9. බැදිම් නැතුව ඉන්න පුලුවන්නම් හොදයි. එත් කොහොමද අනෙ එහෙම ඉන්නෙ.මටනම් බැ

    ReplyDelete
  10. හොරෙන්ම ලංකාවට ඇවිත් ගියා නේද?.... ඒ වගේම තමා මේ සටහනේ තියන දේවල් බොහොම ඇත්ත. එත් වෙන මොනවා කරන්නද කුමාරිහාමි. මේ සංකර ආර්ථික රටාවට හුරු වුණාම වෙන දේ තමා. දැන් ඒව ගැන හිතල වැඩක් නෑ. යන විදියට යනවා මිසක.

    ReplyDelete
  11. පවුලේ එකිනෙකා අතර ඇති බැඳීම නැති තැන,අන් දේවල් ගැන කවර කතාද?

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...