Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Jun 24, 2013

අතීතය සිහිනයක්මද....??


මුළු නුවර අහසම  කළුපාට වෙලා. අඩන්න ලං වුන අහස දැක්කම හිත කඩාගෙන වැටෙන්නේ ඇයි කියලා මට අදටත් තේරෙන්නේ නෑ. බහිරව කන්දේ බුදුපිලිමෙට උඩින් පාත් වෙච්ච කළුපාට වලාකුළු ඇඟේ ගෑවීලා යනකොට ගත විතරක් නෙමෙයි සිතත් සිතලෙන් පිරිලා ඉතිරිලා යනවා. එලියට යන්න හිතුනත් කොහේ කියලා යන්නද? තනිකමෙන් පාළුවෙන් වගේම සීතලෙනුත් හිරි වැටිච්ච හිතට සැනසිල්ලක් ලැබෙන්නේ එකම දෙයකින් විතරයි. ඒ මදුවිතම තමයි.මදුවිතයි මමයි දැන් ගහයි පොත්තයි වගෙයි.. ජීවිතයට එකම සැනසුම මදුවිත විතරයි කියලා මට හිතෙන්නේ

මහනුවර නගරේ මැද මගේ ජීවිතේ කවදා හරි අතරමං වෙන්න ඇති. ඒ කොහෙද කියලා හොයන්න මම යන්නේ නෑ. කොහොම උනත් ඒ අතරමංවීමට මම කැමතියි.


පුංචියට වැහි පොද ගැහුවට කමක් නෑ ඔන්න ඔහෙ යනවා එලියට. ගේ හරියෙත් කන්න බොන්න කියලා කිසිම දෙයක් නැති එකේ.. මටයි කිටියටයි මොනා කන්න බැරිද.

පාරට බැස්සම නෙව සීතල වැඩි
තනිකම ඊට වැඩි....
සිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ...
මමත් ඔහොම ගිය හැටි මට මතකයි
මට හොද හැටි මතකයි....

වැස්ස ගනන් ගන්නේ නැතිව එළියට බැස්සට මොකද එලියට බැස්සම තමා සීතල උහුලන්න බැරි.ඉස්සර සරසවියේදී අමරදේව මහත්තයාගේ මේ ගීතය මම ගැයුවේ හිතවතුන්ගේ ඉල්ලීමට. මම  ඒත් අද එක පාරටම ඒ ගීතය මතක් වෙලා හිත කීරී ගැහුනේ. ඒක මගේම අත්දැකීම නිසාද කියලත් මට හිතෙනවා.

"ඒයි ලොක්කා මොකද වාහන වලට අඩ තියලා අපිව අමාරුවේ දාන්නද හදන්නේ?" කොළු රංචුවක් පටවගත්ත රියදුරාගේ අවිනීත කටහඩිනුයි මට මතක් වුනේ ඉන්නේ පාර මැද්දේ කියල.

වැස්ස තද කරලා. කුඩේ තියෙන හිල් වලින් වතුර බේරෙනවා. කුඩයක් තිබ්බත් භාගෙට තෙමී තෙමී මේ විදියටම ගිය කාලයක් ඉස්සරත් තිබුනා නේද කියලා හිතෙන කොට පපුව මැද්දෙන් එන රිදුම හැම පැත්තටම පැතිරෙනවා.

"සමදරා මම සරසවිය" හරියටම ජීවිතය තුන් ඈදුතු නවකතාවක් වගේ. සමදරාගේ ලේන්සුවෙන් එන ගෝයා සුවද අදටත් මගේ නාස්පුඩු අතර පැටෙලෙනවා.

ගනන් කරන්න බැරි තරම් වාර ගානක් අපි මහවැලි ඉවුරේ කතා කර කර ඉන්න ඇති. මල්වත්තේ හැමගහක්ම අපි ගැන දන්නවා ඇති. ඒත් සමදරා..? ඇයට නම් ඒ අතීතය හීනයක්ම වෙලාද කියලත් මගේ හිත කියනවා. මම අතීතයේ ජීවත් වුනාට ඇයට එහෙම බෑ. ඔවාගේ හැටි ඔහොම තමයි කියලා මම නොයෙක් වෙලාවලට හිත හදාගන්නවා.

"ඔයා වයසට ගිහින් නේ සෑහෙන්න" හදිසියේම දිනක සමදරා මුණගැසුන විට ඇය පුදුමයෙන් මෙන් එසේ පැවසු යුරු මතක් වී මගේ මුවේ සිහින් සිනාවක් පැතිර යයි. මා පමනක් නොව ඇයද වයසට ගොස්ය. අප දෙදෙනාම විශ්‍රාම වැටුප් පෝලිමේ සිටියේ එකටමය. ඇය කැදවාගෙන යන්නට ඇයගේ මිනිබිරියක් පැමිණ සිටි අතර මා සිටියේ තනිවමය වෙනස එපමනය.

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාළය වියැකෙනවා
නෙත් අදහන්නට බැරි ලෙස රූ සිරි
සෙමින් මැකී යනවා....

එදවස මා දකින විට තරු දෙකක් මෙන් දීප්තියෙන් දැල්වුන සමදරාගේ දෙනෙත්වල එදා තිබූ කාන්තිය අද නැත. සරසවියේ බොහෝ කෙල්ලන්ගේ ඊර්ෂ්‍යාවට ලක්වූ ඇයගේ සුන්දර කේශ කලාපය තැනින් තැන සුදු වූ කෙස් ගස් ස්වල්පයකට සීමාවී ඇත.

තරුණ කල බණ දහම් අසද්දී අනිත්‍ය ගැන කියාදෙන මේ විස්තර නොඉවසූ මා, සමදරා දෙස බලාගත්වනම ජීවිතයේ අනිත්‍ය අවබෝද කරගන්නට උත්සාහ ගැනීම එක්තරා විදියක පුදුමයකි.

කියාගන්නට බොහෝදේ මගේ මුවඟට පැමිනි මුත් එදවස මෙන්ම මම අදත් ගොළුවුනෙමි. සියළු බාධක බිද දමා සමදරා දිනාගන්නට නොහැකි වූ මම ඇය නිසාම තවත් අරවින්ද කෙනෙකු වූ බව ඇයට කිවයුතුදැයි මා මගෙන්ම ප්‍රශ්න කලෙමි.

හමුවූ අන්තිම දිනයේ සමදරා මා දෙස බලා සිටියේ ඉතා කම්පා වූ දෙනෙතින්ය "ඔයාට මාව නැතිවුනාට හොද කෙනෙක් බඳින්න තිබ්බා" ඇය පැවසුවේ හුල්ලමින්ය. මා සිනාසී නිහඬ වූවා පමනය.

ප්‍රේමය එක්තැනකින් රැගෙන තවත් තැනකින් තැබිය හැක්කක් නම් මාද ඇයව එක මොහොතකින් මගේ මතකයෙන් ඉවත් කර තවත් අයෙකුට පෙම් කරන්නට තිබිණ. එහෙත් ඇට,ලේ ,මස්, වලට කිඳා බැසි ප්‍රේමය මුළු හදවතම සිදුරු කර අවසානය. සමදරා ගියේ මගේ ජීවිතය හා හදවතද රැගෙනය.

ලෝකයට මා පරාජිතයෙකි, නිවටයෙකි.එහෙත් ප්‍රේමයකින් තොරව තවත් ගැහැණියක හා නීතියෙන් බැදී ඇයගේ ජීවිතයටද අසාදාරනක් කරනවාට වඩා මා අතීතයේ ජිවත්විම මට අනුව නම් ඉතා සාධාරණය.

දරු මුණුබුරන් වට කරගත් මගේ සමකාලීනයන් දකින් ඇතැම්විටක මගේ හිත මටත් නොදැනීම කිසිවකු කොනිති නොගසනවාම නොවේ. සමදරා හා මා විවාහ වූවානම් අපේ දරු මුණුබුරන්ද මෙසේ අප වටකරගන්නට තිබුනා නොවේදැයි මට එවිට සිතේ.

එන්න එන්ටම වැස්ස තද වේ. මදුවිත සොයා නොගොස් ආපසු මගේ කුඩා නිවස වෙත යාමට මට සිතේ. එහෙත් මා එනතුරා බලාසිටින්නේ කුඩා බළල් පැටවා පමණකි. එක අතකින් මා ජීවිතය විඳවනවා වන්නටත් පුළුවන. එහෙත් අතීතය මට සුවයකි.

අප එක්ව ගත කල අතීතය, සිහිනෙන් ගෑ සුවදකි.ප්‍රේමය සිත රිදවන ගින්නක් නොව සුවදායක මිහිරි සුවයකි. මා එය වින්දෙමි.අදද එය විදින්නෙමි. සිතෙන් අතීතයට ගොස් දවස පුරාම සමදරා හා මා ගතකල ඒ සොඳුරු ලෝකය අතගා බලන්නෙමි.
අප එක්ව තැනූ අපේ සිහින මාලිඟා සියල්ලම තවමත් ඒ අතීතයේ නටඹුන් අතර මට හමුවේ.

අප මේ ගෙවන්නේ ජීවිතයේ සැදෑසමයයි. තව කෙටි කලකින් මේ සියල්ල හැරදා යාමට මට මෙන්ම සමදරාටද සිදුවනු ඇත.

ප්‍රේමය වෙනුවෙන්  අප විඳි දුක් ගැහැට කරදර හිරිහැර මතක් වන විට විටක සිතට ඇත්වන්නේ අප ගැනම අනුකම්පාවකි. සත්තකින්ම ජීවිතය යනු සොය සොයා ගොස් විදවනවාට වඩා එළඹේන අවස්ථාවේදී එයට මුහුණ දීමයයි සමදරා හැමවිටම පැවසු වදන් සත්‍ය යැයි මටද දැන් සිතේ. අප අප වෙනුවෙනුත් අනුන් වෙනුවෙනුත් කැප කල ජීවිතය, කඳුලු ඇතැම් විට විහිලුවක් දැයි මට විටෙක සිතේ
මා නරුමයෙකු වී සියළු දේ නොසලකා හැර සමදරා දිනා ගත්තානම් අද මා මෙසේ වැලපෙන්න ඇවැසි නැත.

සංවේදී මනුස්සකම සැබැවින්ම විටක් ජීවිතයට පාරාවළලක්ද?

එදවස මෙන්ම මහවැලිය ලතැවුලක් නොමැතිව ගලා බසී. අප නොමැතිවූවාට තවත් පෙම්වතුන් මහවැලි ඉවුරට පෙම් බඳිනු ඇත. සරසවිය පුරාමත් කහපාට මල් අදත් ඒ ලෙසින්ම පිපෙනා ඇත. සියල්ල එලෙසින්  තිබෙද්දී අප පමනක් අතීතයට එක්වනු ඇත.

එදා වගේ තාමත් වැට් අද්දර
නාමල් පූදිනවා...
නොකා නොබී දුක් වින්ද අතීතය
යලි මට සිහිවනවා.....





















25 comments:

  1. ඇත්තටම කුමාරී "අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ...."

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඇත්තටම අතීතය සිහිනයක් විතරයි නේද? ඒත් ඉතින් හීන දැක්කම ඒක හීනයක් කියලා අමතක කරන අපි ඇයි අතීතය ගැන මතක් කර කර අඩන්නේ.

      Delete
  2. සංවේදී මනුස්සකම සැබැවින්ම විටක් ජීවිතයට පාරාවළලක්ද?
    මට ද එසේ සිතෙන බව අකමැත්තෙන් වුව ද කියමි.

    ReplyDelete
    Replies
    1. මටද එසේ සිතන වාර ගනන අපමනයි දිලිනි... ඒත් අපිට අසංවේදී මිනිසුන් වෙන්න බැරි තරමට අපි හැඟීම්බරයි නේද?

      Delete
  3. ONNA GODA WEDUNA SATAHAN LIYANNA NAM DANUMA MADI.

    ReplyDelete
  4. හරි ලස්සනයි...
    මේ වගේ අත්දැකීම් තියෙන මිනිස්සු අපි අතර ඉන්නවා. එක අතකට පිස්සුවක් වගේ පෙනුනත් ඒ වගේ ආදරේක තියෙන ආනන්දය ගොඩක් වෙලාවට අපිට දැනෙන්නේ නැහැ. දැන් ගොඩක් ආදරයන් ගැඹුරු නැහැ. ආකර්ෂණය විතරක් පදනම් උනහම කාලයත් එක්ක ආදරේ වියැකෙනවා...
    අනිත් අතට බැලුවම, ජීවිතේ කියන්නේ ගලාගෙන යන්න ඕනේ දෙයක් මිසක් කෙනෙක්, සිද්දියක් වෙනුවෙන් එකතැන පල් වෙන්න ඕනේ දෙයක් නෙවෙයි... ආදරේ කියන එකත් සාපේක්ෂයි... අපි දෙමව්පියන්ට මුලින්ම ආදරේ කරලා, පස්සේ ජීවන සහකරුවට සහකාරිට ආදරේ කරන්න පටන් ගන්නවා. මම කියන්නේ පෙම්වතියට හෝ පෙම්වතාට නෙවෙයි... සහකාරිට නැත්තම් සහකාරයට ආදරේ කරනවා කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්..... සමහර වෙලාවට පෙම් කරන කාලේ කරපු ආදරේ වෙනස් වෙන්නේ ඒකයි ...............
    මමත් මේ ගැන පොස්ටුවක් ලියන්න හිතාගෙන හිටපු හින්ද මේ ඇති හොදේ.... :o)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඔයාට. ඔයා කියන දේ හරි.

      Delete
  5. බොහොම කාලෙකින් පුංචි කුමාරිහාමි.
    අතිතය කවදාවත් අමතක කරන්න බෑ මටත්...

    ReplyDelete
    Replies
    1. කාලෙකින් නලින් අයියේ. ලියන්න වෙලාවක් නැති උනා.

      ඔව් අපි හැමෝටම අතීතය අමතක කරනන් අමාරුයි

      Delete
  6. හ්ම්ම්ම්ම මොකක් කියන්නද කියලා හිතා ගන්න බෑ. ඒත් මට සිංදුවක් මතක් උනා
    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ උඩ ඉගිලෙන විට වැහි ලේනී....

    ReplyDelete
    Replies
    1. එබී බලා රිය කවුළු දොරෙන් යට ගිය දවසේ....
      ම්ම් ලස්සන සිංදුවක් නේද තරු...

      Delete
  7. අමරදේවයන්ගේ කබාය ඉරිලා ගීතය ඒ(තරුණ) කාලෙ නුවර වැව රවුමෙ බමන මතින් පොද වැස්සෙ වගේම,තුන්මුල්ලේ ඉදල බෞද්ධාලෝක මාවතෙ මාර ගස් යට පෙම්වතියන් සමග මොර සුරන වැස්සට ඉද්දිත් නොයෙකුත් මෙවැනි කතා මගේ සිතට ආව.
    ඒ කාලේ මම හරියට ආදරේ ගැන නොදැන හින්ද වෙන්න ඇති.(යාලුවෝ නම් කිව්වෙ වේසා ව කියල)
    නමුත් අද මගේ ප්‍රිය බිරිද සහ දරු දෙදෙනා සමග ගෙවන ජීවිතයේදීත් එම ගීතයට ආශා කරමින් වෙනත් උපකල්පනයන් කරමින් රස විදිනව.
    ඉදිරි කාලයෙ ඉඩක් ලැබුනොත් ලියනව.

    ReplyDelete
    Replies
    1. ලියන්න අපි ආසාවෙන් ඉන්නවා කියවන්න.

      Delete
  8. කොයි තීරණය ගත්තත් පසු තැවෙන එක මනුෂ්‍ය ස්වභාවය මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. හැම දෙයක්ගැනම පසුතැවෙනවා? ඒක එහෙම නම් මිනිස්සුන්ගේ හිත් සතුටුවෙන දෙයක් ඇත්තෙම නෑ කියලද ඔයා කියන්නේ.

      Delete
  9. සිහිනයක් උනත් ඒ අතීතයට අපි කොච්චර ආසද ? තාමත් ජීවත් වෙන්න ඒ අතීතයත් එක්ක ..
    …අද කතාව බොහොම හැඟීම්බරයි ....

    ReplyDelete
  10. බොහොමයක් මිනිසුන් ජිවිතයේ අවසාන කාලයේදී අතීතය ගැන හිතලා දුක් වෙනවා ඒක මම බොහෝ මිනිසුන්ගෙන් සාමාන්‍යයෙන් දැකලා තියෙන දෙයක්. පුලුවන්නම් කෙනෙක්ට අනාගතයේදී මතක්වෙද්දී සතුටක් දැනෙන ලෙස වර්තමානය සකසා ගන්න ඒක ලොකු ජයග්‍රහණයක් ,

    කෙසේ වෙතත් අතීත ආදර මතක අමතක කිරීම සංවේදී මිනිසුන්ට පහසු නැහැ ,

    @තරුවා
    මගේ ප්‍රියතම ගීතයත් ඕකම තමයි .

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් චමී අපිට ඕනේ විදියටම අපේ දෛවය සැකසෙන්නේ නෑ නේද? එකනේ ප්‍රශ්නේ..

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. පලවෙනි පාරට වලව්වට ආවෙ.ලියල තියෙන දේ අමතක කරන්ඩ හදන මතයක් මට ආයෙත් මතක් කෙරෙව්ව.

    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
    ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ.......

    ලස්සනයි.දිගටම ලියන්ඩ.

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...