Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Oct 7, 2013

සුනේත්‍රා, නන්දිතය සහ අපි...


කලකට පෙර පිරිමි ලේඛකයන්ගේ පොත්ම මිළදී ගැනීම මිස මා ලේඛිකාවන්ගේ පොත් මිලදීගැනිමෙන් බැහැරව සිටියෙමි. හේතුවක් නොදන්නා මුත් යටිහිතේ ලේඛකයන් පිළිබදව වැඩි විශ්වාසයක් තිබෙන්නට ඇත.
එහෙත් අහම්බෙන් මෙන් දවසක "නන්දිතය" කියවූ පසු මා දැඩි ලෙස සුනේත්‍රා රාජකරුණානයකගේ රසිකාවියක් විය. මා මුලින්ම නන්දිතය කියවද්දී සිතුවේ මෙවන් චරිතයන් මෙලොව සිටිය හැකිද යන්නය.
එහෙත් පසු කලෙක එවන් චරිත සැබෑ ලෝකයේ හමුවද්දී මගේ සිතට දැනුනේ පුදුමයකි.


සුනේත්‍රාගේ නවකතාවක අතරමංවීම ඇත්තෙන්ම පුදුමාකාර අත්දැකීමකි. ඒ අත්දැකීම විදින්නට මා සිතන්නේ ඇගේ බොහෝ රසික රසිකාවන් කැමති වෙන බව බොහෝ අයගේ අදහස් වලින් මා තේරුම්ගෙන සිටිමි.

බොහෝ පිරිමින් සිතන ආකාරයෙන් සුනේත්‍රා පුරුෂ විරෝධි හෝ ස්ත්‍රීවාදී චරිතයක් නොවේ. ඇය ලොවෙන් වසන් වී ඇති ඇත්ත. අපූරුවට සියුම්ව එළිදක්වයි.ලොව කෙතරම් දියුනුව කරා ගියද ලාංකීය මෙන්ම ආසියාතික සමාජයේ ගැහැනුන් සැමවිටම ගෙවන්නේ පුරුශ මූලික ජීවිතයකි. මා එහි වැරදි හෝ කාන්තාවන්ට නිදහස අවශ්‍ය යයි හඩනඟනවා නොව නිහඬව අපේ කාන්තාවන් මානසිකව විදවන අයුරු මතක් කර දෙනවා පමනය.

පිරිමියෙකු සදහා එතරම් බරපතල නොවූ සමහර දෑ කාන්තාවන් සදහා කිසිදා සමාවක් නොලැබෙන මරනීය වැරදි බවට පත්වීම ඇත්තෙන්ම අපේම කාන්තාවන්ගේ මානසික ස්වභාවයද බලපා ඇති බව අපට පිලිගන්නට සිදුවන්නේ අකමැත්තෙන්ය.

බොහෝ පිරිමි ආත්ම වලට සුනේත්‍රා සියුම්ව පහර දෙන්නේ උපහාසයෙන්ය. ඇත්තෙන්ම එය පිලිනොගෙන සිටින්නට කිසිවෙකුට බැරිය. එක්තරා ලේඛකයෙක් දිනක් පැවසුවේ සුනේත්‍රාට පිස්සු කියාය. එසේවන්නට හේතුව හැම පිරිමි ආත්මයකම නිරුවතට සුනේත්‍රා අපූරුවට උපහාසයෙන් පහර දීමය.

නන්දිතයේ "නන්දිත", සුබෝදාලංකාරයේ "සුබෝද", පොදු පුරුශයාහි "සාශා" සහ ප්‍රේම පුරානයේ "රවි" ගෙන් එලි බසින්නේ අපේ සමාජයේ සැඟවී තිබෙන්නා පුරුශ ආත්මයන්හි යතාර්තයයි.

සුනේත්‍රා කියන පරිදිම පිරිමින් සිතන පරිදි ගැහැනියකට ප්‍රේමය ඇගේ මුළු ජීවිතයයි. ඇය ජීවිතය කේන්ද්‍ර කරගන්නේ ඒ ආදරය හා තමන් සිත් ගත් පුරුශයා වටාය. එහෙත් පිරිමියෙකුට එසේ වන්නේ කලාතුරකින්ය. ඔවුන් ප්‍රේමයෙන් බොහෝ දේ බලාපොරොත්තු වේ.

නන්දිතයේ ආචාර්‍ය නන්දිත තමන්ගේ ඉල්ලක්කයට යන්න භාවිතා කරනුයේ හුදකලා වුන ගෑනු චරිත. එසේ තනිවූ ගැහැණියකගෙන් කිසිම දුකක් හිත් තැවුලක් නැතිව තමන්ගේ ඉලක්කයන් සපුරාගන්නට ඔහු පැකිලෙන්නේ නැත. ඔහුගේ හිතේ තියෙනවා " මේ ගැහැනුන් ආදර ඉඩෝරයකින් ඉන්න බවට. ආදර වැස්සකින් ඔවුන්ගේ පිපාසය සංසිදවනම් ඔවුන් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ඉදිරිපත් වෙන බව"

එහි එක තැනකදී ආචාර්ය නන්දිත මෙහෙම කියනවා
 "ගෑනු පිරිමියෙක්ට නිකන් කන්න අදින්න දෙන්නේ නැහැනේ. උන්ට ප්‍රේමාලාප කියන්න ඕනේ.උන් ඉල්ලන්නෙම රොමැන්ස්නේ. ඒක හරි අමාරු වැඩක් මචං. රොමෑන්ස් සැපයීම, අඛන්ඩව රොමැන්ස් සැපයීම හරිම දුෂ්කර ක්‍රියාවක් මචං,මට හරි මහන්සියි"

ඇත්තෙන්ම ඒ කතාවෙන්ම පේනවා ගැහැනුන්ව පහුරක් කරගෙන තමන්ගේ ඉල්ලක්කයට යන්න හදන පිරිමියාගේ මානසිකත්වය. හැබැයි කනගාටුවටත් විහිලුවටත් කාරනය මේක ගැහැණියට තේරෙන්නේ නෑ කියලා ඒ පිරිමියා සිතන එකයි.

ඇත්තෙන්ම මේ සිද්ධවෙන බොරු රොමැන්ටික් ආදරය ගැහැනියට නොතේරෙනවාම නෙමෙයි. ඒත් ඇය ඒ තේරුම් ගැනීම පිළිගැනීමට කම්මැලියි. ඊට වඩා සහනයක් අර බොරු ආදරය තුල ඇය දකිනවා.

සුනේත්‍රා ගැහැනියක් විදියට පිරිමි මනසකින් ගැහැනිය ගැන සිතීම එක්තරා විදියක අමුතු දක්ෂකමක් මට නම් හිතෙන්නේ.

ඇය නන්දිතයේ තවත් තැනක මෙහෙම කියනවා
" ගෑනුත් ආසයි මලකට සමාන කරනකොට.ගෑනු ඕනේම වල් බල්ලෙක් ගැන හරි දුක් ගන්නේ ඔය වගේ පොඩි පොඩි කෑලි සිහි කර කරනේ. ගෑනියෙක්ව අත ඇරලා ගියත් උන් තමන් ගැන හිත හිතා දුක්වෙනවා කියලා දැනගත්තම පුදුම සතුටක් දැනෙනවනේ. ඒක පුරුෂ භාවයේ ආඩම්බරයකුත් කැවුන එකක්"

ඇත්තෙන්ම අපේ පිරිමින් තමන්ගේ මානසිකත්වයේ නිරුවත දකින්න කැමති නොවෙන්න පුළුවන් ඒත් බොහෝවිට ඇත්ත ඒක.බොළද ආදරෙයෙන් ඔලු පුරවගෙන ඉන්න අපේ රටේ ගැහැනුන්ට නම් සුනේත්‍රා කියන සමහර දෙවල් විකාර වෙන්නත් පුළුවන්.

සුබෝදාලංකාරයේ සුබෝද සුබරත් මැනිකේට දක්වන බොරු ආදරය, කාලයක් තිස්සේම කරගෙන බොරුව පවා ඇය නොදැන සිටියායැයි කියනවාට වඩා ඇය ඒ බොරුවට ආශක්තවී සිටියා කීම තමා ගොඩක්ම නිවැරිදි.

ඒත් මම සුනේත්‍රාගේ නවකතාවල දකින එක් පුදුමයක් තමා. තමා සිටියේ මායාවක් තුල කියා දැනගත් වහාම ඒ කාන්තා චරිතවලට අර තමන්ගේ හීන කුමාරයාව එකරැයින් අමතක කර දමා පලායාමට ඇති හැකියාව. එය මදක් ප්‍රා‍යෝගිකත්වයෙන් තොරද කියාත් මට සිතෙන්නේ, තමන්ට මෙතරම් බොරුවක් අසාදාරනයක් කල මිනිසෙකුගෙන් " ඇයි එහෙම කරේ" කියාවත් ප්‍රශ්න නොකර පළා යාමටත් සදහටම ඔහු අමතක කර දැමීමටත් ගැහැනියකට ලේසි පාසු කාර්‍යක් නොවෙන නිසා. ඒත් ඒ උතුම් ගතිය ඇගේ චරිතයේ සද්ගුනයක් වන්නටත් පුළුවන.

පොදු පුරුශයාගේ මනෝරම්‍යා පවා සශා විසින් ඇයට කල බොරුව හා අසාධාරනය හමුවේ මුනිවත රැකීම හා ඔහුගෙන් සදහට දුරස්වීම ඇත්තෙන්ම පුදුමයක් වූවත් හේතු විමසමින් එවන් පුරුශයෙකුගේ පසු පස යාමට වඩා ඔහුට දිය හැකි උපරිම දඩුවම වන්නේත් එයයි.

සුනේත්‍රාගේ බොහෝ පිරිමි චරිතවලින් අපේ රටේ පිරිමින්ගේ මානසික තත්වය එලියට එන්නේ අපූරුවට. බොහෝ පිරිමි චරිතවලට ඔවුන්ගේ බිරිඳ "උත්තම භාර්‍යාව සේම සෙසු සියළු ගැහැනුන් වෛශ්‍යාවන්" තම භාර්‍යාවන් නිවෙසට වී ලෝකයෙන් වසන් වී තමන් වෙනුවෙන්ම කැපවූ දේවතාවියන් සෙම අනික් ගැහැණුන් ඕනෑම වෙලාවක පොළඹවා ගත හැකි මානසික උන්මාද කාරියන්. ඇත්තෙන්ම යතාර්තයද එයම නොවේද?

පොදු පුරුශයාගේ "සාශා" ගේ අනියම් සම්බනදයක් වර්නාසිට අසුවි විට ඇය තීරණය කරන්නේ ඔහුට එය දිගටම කරගෙන යාමට නිදහස දී ඔහුගෙන් අයින් වීමට. ඇය එය ඔහුට පවසා සිටින ඔහු පවසන්නේ

" ඔයා අයින් වෙන්නේ මොකටද? ඒවා නිකං පාරේ තියෙන පයිප්ප විතරයි.තිබහටවත් නෙමෙයි නිකං කොළුකමට වතුර බීපුවනේ"

ඇත්තටම සමස්තයක් නොවුනත් බොහෝ පිරිමින්ගේ මතයත් මෙයම නොවේද?

සුනේත්‍රා තවත් පොදු පුරුශයන්ගේ සිත්වලට රිංඟා ගැහැනු අපට අනතුරු අඟවන්නීය එහෙත් එය අප තේරුම් ගනිමින් සිටින්නේද යන්න නම් සැමදා ගැටළුවකි.









49 comments:

  1. සුනේත්‍රා රාජකරුණානායක මගේද ප්‍රියතම ලේඛිකාවකි ,ඇය සිය ලේඛණයේදී උපහාසය මැනවින් යොදා ගනී.
    //"බොහෝ පිරිමින් සිතන ආකාරයෙන් සුනේත්‍රා පුරුෂ විරෝධි හෝ ස්ත්‍රීවාදී චරිතයක් නොවේ"// 100% ක්ම එකඟය .

    ReplyDelete
    Replies
    1. ඒත් ඉවාන්, ඇගේ පොත් කියවන බොහෝ පාඨිකාවන් (ස්ත්‍රින්) සිතන්නේ ඇය ලියන ආකාරයෙන් පුරුෂයන්ට එදිරිව නැගී සිටින්න, කියලයි මට හිතෙන්නෙ.

      ඒක රචකයාගෙ නෙවෙ, කියවන කාන්තාවන්ගෙ වරද !

      Delete
    2. ඉවාන්.. ඔව් ඇය ලේඛනයේදී මැනවින් උපහාසය යොදාගන්නවා සේම සමහරුන්ගේ සිතද ඉන් රිදේ.. .D

      Delete
    3. සෑම් කාන්තාවන්ගේ වරදම නෙමෙයි. කාන්තාවන් මූන දෙන සමහර සිද්දීන් සුනෙත්‍රාගේ කතා රටාවලට හොදින්ම ගැලපෙනවා.

      Delete
  2. පිරිමි මානසිකත්වය කිව්වේ ඉස්සර රජකාලේ ඉඳන්ම එන මානසිකත්වය වෙන්න ඕනෙ. කට කහලා නෑ කිවත් ඇත්ත ගත්තාම බොහෝදුරට ඒක හරි. නමුත් හැම පිරිමියාම සම්බන්ධයෙන් මේ කියවීම වලංගු වෙන් නැ. තමන්ගෙ බිරිඳ වෙනුවෙන් ඇයවම වෙනුවෙන් තම කුටුම්භය ආරක්ෂාකරගෙන ජීවත් වෙන්න දඟලන පිරිමින්ගෙනුත් අඩුවක් නෑ. බලමුහොයාගෙන කියවන්න හොඳ පොතක් කිව්වට ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. රතීට ස්තූතියි. ඔව් හැම පිරිමියෙක්ම මෙහමයි කියලනම් කීයටවත් කියන්න බෑ. එතකොට අපේ තාත්තලා සහොදරයෝ, ආදරවන්තයෝ, සැමියන් හැමෝම ඒ ගොඩේ නේද කියලා අපිට හිතෙයි. ඒත් අපිට ඒ කාගෙවත් හිත් ඇතුල කියවන්න බැරි නිසා මොනවත් කියන්නා බෑ. සමහරක් පිරිමි මෙහෙමයි කියමු නේද.

      Delete
  3. මම මේ පොත කියවලා නෑ. ඔය පොතේ කවරේ බලන්න ටිංකිරි පැටියා කියලා පොතක් සුනේත්‍රා ලියලා තියෙනවද කියලා. අන්න මම බලපු කවදාවත් අමතක නොවෙන සුපිරි කතාවක්.

    බොහෝ පිරිමි චරිතවලට ඔවුන්ගේ බිරිඳ "උත්තම භාර්‍යාව සේම සෙසු සියළු ගැහැනුන් වෛශ්‍යාවන්" කියන කතාව සුනේත්‍රාගේ නොවුනත් නිතර අහන්න සිදුවෙන එකක්. ඔතන පිරිමින්ට ඉදිරියෙන් "බොහෝ" කියන වචනේ ඩිස්ක්ලේමර් එකක් හැටියට පාවිච්චි කරලා තියෙනවා. අපි නොකිව්වත් ඔයවගේ ගෑණුත් ඉන්නවා ඕනෙ තරම්. තමන්ගේ ලිංගිකත්වය පිරිමින්ගේ මූණ ඉදිරියේ වනන, තො‍ඳොල් බසින් කාමාරාධනාවන් කරන. ඒක කාන්තාවනුත් පිළිගන්න නිසාම තමයි තමන්ගේ සැමියා ඔෆීස් එකේ එකට වැඩ කරන සහ බස් එකේ එකට යන සක්කරවට්ටම් වලින් බේරාගන්න සංග්‍රාම කරන්නේ.

    ඒ වගේම වචනාර්ථයෙන් ගත්තොත්,සෙසු සියළු ගැහැනුන් වෛශ්‍යාවන් වෙනවා නම් හොඳයි කියන එකෙන් තමන්ගේ සහෝදරියන්, දුවලා, අම්මා, පුංචි අම්මලා, ලොකු අම්මලා, නැන්දලා, ඥාති සොහොයුරියන්, නෑනලා, නැන්දම්මලා වගේ තව ගෑණු හමුදාවක් ඉන්නවා නේද තමාගේ බිරිඳ වගේම උත්තම චරිතයක් වීම කෙසේ වෙත්තත් අඩුම ගානේ වෛශ්‍යාවක් නොවියයුතු. එතකොට මේ ප්‍රකාශය වැඩි දුර නොහිතා කරපු එකක් කියලා හිතෙන්නේ නැද්ද? මම කියන්නේ සුනේත්‍රා කියපු එක ගැන නෙවෙයි, ඒ ප්‍රකාශය ගැනයි.

    ඕකත් අර "අවසරකල් රහස් තැන, ගැහැණු කවුරුද වරදෙ නොබැ‍ඳෙන" කිව්වා වගේම සාහසික අන්තවාදී ප්‍රකාශයක්.

    කෙටියෙන් කිව්වොත්, වල්කමට ගෑණු පිරිමි භේදයක් නෑ.

    ReplyDelete
    Replies
    1. අපූරු ප්‍රකාශයක් ඩූඩේ.. කෙටියෙන් කියපු එක තමා හරිම එක.. කරුමෙ කියන්නෙ ඕක හොයා ගන්න බැරි නිසා අහිංසක උනුත් පද අහනවා.. නිකන් වල් උන්ව නිල් වෙනවා වගේ ක්‍රමයක්වත් තිබුනනම්.. කෝ මේ මහා බුරස්මයා... @#$%&

      Delete
    2. මොකද සෙන්න පේන්න නැත්තේ..
      හෙන්රි පැහැදිලි කිරීම අපුරුයි.

      Delete
    3. දැන් ඉස්සර වගේ වෙලාවක් නෑ කෙන්ජි බ්ලොග් එකේ එල්ලිලා ඉන්න. ඔය යමින් ගමින්, උඩින් පල්ලෙන් තමා කියවන්නෙත්...

      Delete
    4. සෙන්නා පැණියෙක්.

      Delete
    5. ඔව් ඩූඩ් කියන කතාවට මමත් එකඟයි.ඒත් මම ඒකින් අදහස් කරේ භා‍ර්යාව සම්බන්දයෙන් විතරයි. ඒ කියන්නේ තමන්ගේ භාර්යාව මේ ලෝකේ ඉන්න උතුම්ම කාන්තාව, ඇය අතින් කිසිම වැරැද්දක් වෙන්නෙත් නෑ. ඇය වැරදි කරන්නේත් නැ. ඒත් අනිත් අයගේ භාර්යාවන් හෝ සෙසු භාහිර කාන්තාවන්( ඔබ කියූ නෑකම් මිත්‍ර කම් වලින් පිට) අසංවර ඕනෑම මොහොතක වරදට පෙළබෙන් අය බවට සමහරුන්ගේ මතයක් තියෙනවා.

      Delete
    6. හයියෝ සෙන්නාත් මට බැනලද?.. හා හා කමක් නෑ. මම දැනන් හිටියා අපේ පුරුශ පක්ශය මේකට කලබල වෙනවා කියලා. හැබැයි මම කිව්වේ සමස්ත පිරිමි වර්ගයා ගැන නම් නෙමෙයි සහෝදරවරුනි... :D :D

      Delete
    7. ඈහ්.. මම කොහෙද බන් කාටවත් බැනලා තියෙන්නෙ.. මහා බුරස්මයට මිසක්.. :D

      Delete
    8. ආ මේ එයාටද බැන්නේ. බුරස්මයා මේ දවස්වල නිවාඩු. වැකේශන් ගිහින්... :D

      Delete
  4. මේ කුමාරී... පිරිමින්ට බනින්නෙ එහෙම නෑ හරී..... මැරුම් කන්න තමා.....

    ReplyDelete
    Replies
    1. බැන්නේ නෑ. නිකන් ඔහේ කිව්වා. මරන්න නම් එපා. :D

      Delete
  5. //සුනේත්‍රා කියන පරිදිම පිරිමින් සිතන පරිදි ගැහැනියකට ප්‍රේමය ඇගේ මුළු ජීවිතයයි. ඇය ජීවිතය කේන්ද්‍ර කරගන්නේ ඒ ආදරය හා තමන් සිත් ගත් පුරුශයා වටාය. එහෙත් පිරිමියෙකුට එසේ වන්නේ කලාතුරකින්ය. ඔවුන් ප්‍රේමයෙන් බොහෝ දේ බලාපොරොත්තු වේ.// පිරිමින් සිතන පරිදි නෙමේ. මම හිතන්නෙ කොහොමත් එහෙම යි.

    ReplyDelete
    Replies
    1. ඔව් කොහොමත් එහෙමයි තමයි.. වෙනස් වෙන එකක් නෑ දිලිනි.

      Delete
  6. අම්මෝ පිරිමි එච්චරටම නරකද ඈ

    ReplyDelete
    Replies
    1. සුනේත්‍රා ලියල තියෙන්නෙ මම වගේ බුවාලා දෙතුන් දෙනෙක් ගැන බං.
      අනිත් අය හරිම සෝයිම සෝයි.

      Delete
    2. ඔන්න කෙන්ජි පැනලම වැරද්ද භාර අරන් මට නම් මොකුත් කියන්න බෑ. ::D

      Delete
  7. බහුතරයක් පිරිමි ස්වභාවය ඔ‍යාකාර වුවත් ඔයිට වඩා අතිශයින්ම වෙනස් මත දරන පිරිමිත් සමාජයෙ සිටිනවා. ගැහැණිය සේම ආදරය තම ආත්මය කර ගත් පිරිමිත් සමාජයෙ සිටිනවා.

    - ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රියන්ත ගෑණු පිරිමි බේදයක් නෑ අවංක මිනිස්සු ලෝකේ කොහේත් ඉන්නවා. මම මේ කිව්වේ සමස්ත පිරිමි වර්ගයා ගැන නෙමෙයි

      Delete
  8. මට කියන්න පොදු පුරුෂයා ලිව්වේ කව්ද කියලා...? මමත් එක කාලෙක ඇඳට වෙලා හිටියා..ඒ කාලේ ඔය හැම එකම කියෙව්වා... දැන් මතක නැහැ කාගේ මොනවද කියලා...

    ReplyDelete
    Replies
    1. ඒක ලිව්වෙත් සුනේත්‍රා රාජකරුණානයක තමයි. ඔයාට දැන් හොදයිද?

      Delete
    2. එයාගේ පොත් කියවද්දී හෙමීට පුරුෂයන් ගැන අහිතක් ඇති වෙනවා කුමාරි.. විවාහ ජීවිතේ දුකකින් ඉන්න කෙනෙක් කියෙව්වොත් එහෙම පටස් ගාලා හස්බන්ඩ්ව එපා වෙනවා... තේ එකක් වත් නොදෙන තැනට පත් වෙනවා...

      හොඳට බලන්න ශූක්ෂම විදිහට එයා පිරිමි ජාතිය කෙරෙහි ගැහැණිය තුල වෛරයක් ඇති කරනවා...

      ඔව් මට දැන් ගොඩක් හොඳයි කුමාරි... මාව වලව්වේ අසල්වැසියෙක් කරගන්නකෝ .........

      Delete
    3. එහෙමමත් නෙමෙයි සහන්, සමහර වෙලාවට අපි අන්ධ වෙලා විශ්වාසයෙන් ඉන්න අය ගැන දෙපාරක් හිතන්න පෙළඹෙනවා. ඒ වගේම සමහර ගෑනු අයට හිත හදාගනන් අවස්ථාවක් එනවා. මේ වගේ අය තවත් මේ ලෝකේ ඉන්නවා කියලා.

      ඔයාගේ බ්ලොග් එක මොකක්ද? මම ඇඩ් කරන්නම්...

      Delete
  9. හොදම හොද විග්‍රහයක් ලක්මිණි.
    සතියකට එකක්වත් ලියන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. අයියෝ නමම කියලා නේ. :D :D

      Delete
  10. වලව්ව පැත්තෙ ආවෙ සෑහෙන කාලෙකින්...ඒ ටික කාලෙකට ඇදුමත් වෙනස් වෙලා..දැන් කලින්ට වඩා හැඩයි...මම නම් ප්‍රේමයේ ශෘංගාරය පැත්ත පිරිමියෙක් ලියනවට වඩා කාන්තාවක් ලියන දේ කියවන්න මනාපයි....ඒවායෙ පැහැදිලි වෙනසක් තියෙනවා...ඒ කාන්තා චින්තනය නිසාම වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සිරාට. ඔව් පොඩි වෙනසක් කරා. ඒත් තාම මුල් මට්ටමේ තියෙන්නේ. අපේ හිතවත් සහෝදරයෙක් තමයි ඒක කරලා දුන්නේ.

      Delete
    2. ග්‍රැෆික් වැඩක් නම් කියන්න කරලා දෙන්නම්...මගේ වෘත්තිය ඒක තමයි...

      Delete
    3. ස්තූතියි.. උදව්වක් ඕනේ උනාම අනිර්වාර්යෙන් කියනවා. ගොඩක් ස්තූතියි සිරා.

      Delete
  11. බොහොම දුර අතීතයෙ ඈ සංස්කරණය කලා සඟරාවක්. නම විදර්ශී..වසරක බරපැන ගෙවල මම මුලදිම දායකත්වයක් ගත්ත. බොහොම අපූරු ලිපි පලවුනු සාරවත් ශාස්ත්‍රීය කලාපයක් කියල කියන්න පුලුවන් එකහෙලා.ඒත් අවාසනාවට අපේ රටේ හොඳ දේවල්වලට බොහෝවිට සිද්ද වෙන ඉරණම ඒකටත් අත්වුනා. ඉක්මනින්ම සඟරාව අභාවයට ගියා.

    ඊට පස්සෙ තමයි ඈ නවකථාකරණයට අත තිබ්බෙ. ඒත් මට මතකයි ශ්‍රී සඟරාවෙ මහදිග කතාවට ඈ ලිව්ව අපූරු කතා කිහිපයක්ම. මුල්ම නවකථාව " සඳුන් ගිර ගිණි ගනියි " ධනවත් නිවසක මෙහෙකාර සේවයෙහි යෙදෙන ගැමි තරුණියක වටා ගෙතුනු හරිම අපූරු කථාවක්.එදා ඉඳල ඈ ලියපු හැම කතාවක්ම මම කියවනව අනිවාර්යයෙන්ම.ඈ හා මගේ ඇත්තේ දීර්ඝ කාලීන මිත්‍ර සමාගමක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රවි ගොඩක් .
      මම සුනේත්‍රාගේ පොත් ගොඩක් කියෙව්වට තාමත් බැරි උනා සදුන් ගිර ගිනි ගනී කියවන්න. මම සුනේත්‍රාගේ ආසම කතාව කවිකඳුර..

      Delete
    2. සඳුන් ගිර ගිනි ගනී බොහෝම අපූරු නවකතාවක්. පසුව මෙය ටෙලි නාට්‍යයක්වූ බවත් මතකයි. මෙහි එක් තැනක ,කතානායිකාව විවාහවූ පසු ඇයගේ ස්වාමියගේ ගඳ සුවඳ පවා සංසන්දනය කරනවා,ඇය හා සම්බන්ධකම් පැවැත්වූ වලව්වේ පුතා සමග. උදාහරණයක් හැටියට ස්වාමියා කෑමෙන් පස්සේ හරිහමන් විදිහට අත සෝදා නොගනීම නිසා එන කරවල සුවඳ. මේ පොත ගැහැණියකගේ මනෝ භාවයන් ටොප් එකට විග්‍රහ කරනවා ඉතාමත්ම සරළව. කියවිය යුතු පොතක්.

      මේ මාසේ 13 වෙනිද ඉඳන් සිරසෙන් තනුජා ජයවර්ධන වැඩසටහනක් මෙහෙයවන බව දැණගන්නට ලැබුනා ඔබේ ජීවිතය නමින්. කෞශල්‍යා,සුනේත්‍රා වගේ අය එයට සහභාගී වෙනවාලු. පුළුවන්නම් බලන්න හොඳයි කියලා මට හිතුනා.

      Delete
    3. එහෙනම් මම ඒ කතාව බලල තියෙනවා. ස්තූතියි ඔයාට.(මට මේ ඔබේ නම නම් අවුලක් :D).. මට ඔයා කිව්වම ඒ වගේ කතාවක් මතක් වුනා ඒක. නම තමයි මතකයේ හිටියේ නැත්තෙ.

      ඔව් ඔයා කියන එක ඇත්ත. ගොඩක් වෙලාවට සුනේත්‍රා ගැහැනියගේ වගේම පිරිම්යාගේ මනෝභාවයන් සූක්ශම විදියට විග්‍රහ කරනවා.

      ස්තූතියි ඔයාට.

      Delete
    4. මගේ නම අරූ. හැබැයි කවුරුත් කතා කරන්නේ මූ කියලා.

      Delete
    5. හරි හරි අරූ මූ.. :D :D

      Delete
  12. ඇයි කුමාරිහාමි මේ පිරිමි ළමයින් කෑගහන්නෙ මෙතන? ඔයා මොනාහරි කිව්වද එයාලට? :D :D

    ReplyDelete
    Replies
    1. අනේ නෑ . මම කිව්වේ සමහර පිරිමි අය හරිම හොදයි කියලා.. :D

      Delete
  13. සුනේත්‍රා මහත්මිය එක්ක මගෙ හිතෙන් මට තියෙන්නේ බොහොම ලග සම්බන්දයක්... ඇය අපේ පාසලෙන් ඉගනුම ලබපු කෙනෙක්... ප්‍රේම පුරාණයේ සදහන් වෙන්නේ ඒ ගැන... ඇය ලියන දේවල් වලට හිත ඇදෙන්නේ නිරායාසයෙන්... කවිකදුර, පොදු පුර්ෂයා, සදුන් ගිර ගිනි ගනි, ප්‍රේම පුරාණය, බුද්ධ දාසි, මතක පොත වගේ පොත් මම සැරින් සැරේට කියවනවා.. ඇගේ පොත් කියවද්දි මට දැනෙන්නේ රස කෑමක් කනවා වගේ , සුවඳ, රස, ගුණ සේරම දැනෙන ලැබෙන පොත්...

    ReplyDelete
    Replies
    1. මේ බුද්ධ දාසි එකේ නේද නිවුන්නු දෙන්නා ඉන්නේ... ඒ කතාව නම් ඉතා ඉහළයි ... කවිකඳුරත් කියෙව්වා වගේ මතකයි ....පොඩ්ඩක් කතාව කියන්න බලන්න......

      Delete
    2. ස්තූතියි නලින් අයියේ. මමත් සුනේත්‍රා මහත්මියගේ පොත් වලින් අපූරු ලෝකයකට යනවා. බුද්ධදාසි පුදුමාකාර විදියට හිත වෙනස් කරන පොතක්. ඇත්තටම අපේ හිත්වලත් මෛත්‍රී හැගීම් ඇතිකරවන්න එතුමියට ඒකෙන් හැකිවෙනවා මම හිතන්නේ.

      Delete
    3. ඔව් සහන් ඒකේ තමයි නිවුන්නු දෙන්නා ඉන්නේ. ඒකේ නංගි තමයි බුද්ධදාසි වෙන්නේ. අනුරාධපුරයේ රජ් කල මිහිඳු කියන රජතුමාගේ කාලයේ සිදුවීමක් තමයි ඒකේ කතා වස්තුව. ඒත් ඒක ඇත්තමක්ම නෙමෙයි. ඒ වුනාට පුදුම විදියට ජීවිතය ගැන හිතන්නත් ජීවිතය සරලව දකින්නත් ඒකෙන් පොළඹවනවා.

      ආ ඔයා අහන්නේ කවිකඳුර. ඒකේ කතාව සිංහලේ අන්තිම රජතුමාගේ කාලේ කතාවක්. රාජසිංහ රජ්ජුරුවන්ගේ සිරකරුවෙක් වුන් බ්ලේක් කියල කෙනෙක් ඈත ගමකට ගෙනිහින් ඇතිවුන සිද්ධියක්. ඒක ටෙලි නාට්‍යක් වුනා. වසන්ති චතුරානි හදපු "ධවල කඩුල්ල" කියලා. මගේ "කුමාරිහාමි" කතාවටත් මම ගොඩක් අතීත විස්තර එතුමියගේ කවිකඳුරෙන් දැනගත්තා.

      Delete
    4. කුමාරි ඔය ඉන්නේ නලින් අය්යා නෙවේ ..හොඳට බලන්න .........

      හරියට හරි මම ඔය දෙකම කියෙව්වා .... කවි කඳුරේ විස්තර වෙන සිදුවීම ටිකත් දැන් ඔලුවට ආව එක පෙළට ...මොකද මම ඔය පොත කියවපු කාලේ වෙද්දී මම හිටියේ ඉතාම රෝගීව... අතීත සිදු වීම් අමතක කරගන්න සෑහෙන උත්සාහ කළා .. ඉතින් ඒ හැම චරිතයක්ම මට මතකයි... පොඩි උදව්වක් විතරයි උවමනා වුණේ ඒ මතකයන් නැවත මතක් කරගන්න... හීන් එකා නේද ඒ කතාවේ උන්නේ ...? හොඳට මතකයි ඒ කතාවත්...


      බුද්ධ දාසි නම් ඉතාම ඉහළයි ... සියලුම චරිත පුදුම විදිහට විග්‍රහ වෙලා තිබ්බා... ඒ අතීතය එක්ක අපිත් ජීවත් වෙනවා වගේම හැගීමක් එනවා ... මහග්ගත සිතක් සඳහා සිත නැඹුරු වෙනවා අන්තිමටම අපිටත් නොදැනී ..........


      එදිනෙදා ජීවිතය | Trance

      Delete
    5. අයියෝ ඔව්නේ. වැරදීමක් නලීන් අයියා නෙමෙයිනේ. කලබලයට එහෙමයි දැක්කේ.සමාවෙන්න නදිනි...

      Delete
  14. පොතක් කියවල ගන්න හැඟීම වෙන කිසිම දෙකින් ලබන්න බැරි තෘප්තියක්

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...