Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Jun 5, 2014

ඒ අඹ ගස...


කපා දාන්න යැයි කිය කියා හැම කෙනාම බල කල නිසාම කපා දැම්මා විනා අඹ ගහ කපා දැමීම ගැන ලොකු ඉස්කෝලේ මහත්තයා තවමත් පසුවන්නේ විස්සෝපයෙනි. කුඩා කල පටන් හදා වඩා ගත් දරුවෙක් කපා කොටා දැම්මාක් වැනි හැඟීමක් හිතට ආ නිසාවෙන්ම අඹ ගහ කපන වෙලාවේ ගෙදර මඟ හැර කුඹුරට වී ඉන්නට සිතා ගත්තද සිත දිව්වේම අඹ ගහ දිහාවටමය. කුඹුරට ගිය පයින්ම එහි නොරැඳි නැවතත් ඉස්කෝලේ මහත්තයා ආපහු මහ ගෙදර බලා ආවේ හිතේ ඇවිලෙන සියුම් දුකක් හිතයට හංගාගෙනමය.


පෙරදා අඹ ගහ කැපූ තැන දැන් ඇත්තේ එහේ මෙහේ විසිවුන අඹ අතු කිහිපයකුත් ලපටි අඹ කොළ ටිකකුත් පමනි. පෙරදිනයේ යුද්ධ පිටියක් මෙන් වූ මහගෙදර මිදුල දැන් කිසි දෙයක් නොවූවා සේ නිසලව සිටින යුරු දකිද්දී ලොකු ඉස්කෝලේ මහත්තයාගේ හිත පාළු ශෝකයකින් පිරී යයි.

ලෝකයට නිහඬව මහා සේවයක් නිශ්සබ්දව නිසලව ගිය මුණිවරයෙකු සේ අඹ ගසද නිහඩව අවසන් ගමන් ගිය අයුරු දකින ලොකු ඉස්කෝලේ මහත්තයා හාන්සි පුටුවේ දිගාවී අඹගස දෙස බලමින් සිහින් සුසුමක් පිට කර හැරියේ සිතේ බර සැහැල්ලු කරගැනීමට මෙනි.

හැමදේම අනිත්‍ය ලෝකෙක අඹ ගහක් ගැන හිතමින් සෝක වීම ගැන ලොකු හාමුදුරුවන් දැනගත්තා නම් තමාට අවවාද කර නොනැවතී දොස් පවරන්නට ඉඩ ඇතැයි සිතමින් ලොකු ඉස්කෝලේ මහත්තයා වට පිට බැලුවේ ලොකු හාමුදුරුවන් තම හැඟීම දැක්කාදැයි සිතා මෙන්ය.

"මළයා තාමත් ගොඩක් දේවල් හිතේ අලවන් ඉන්නවැයි? ඔය මහ බර බිමින් තියලා සැහැල්ලු වෙන්න. අත්හැරීමම තමයි සැනසීම"
ලොකු හාමුදුරුවන් එසේ පැවසූවද තවමත් පෘතග්ජනයෙකු වන තමාට ලොකු හාමුදුරුවන් සේ හිත හදාගැනීම පහසු නැති බව ඉස්කෝලේ මහත්තයා දනී.

තමන්ගේ එකම සහෝදරයා වන ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් නිසාම ජීවිතයේ නොයෙකුත් හැල හැප්පීම් උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමට ඉස්කෝලේ මහත්තයා පුරුදු පුහුනු වුවද මේ අඹ ගස ගැන තිබුනු මානසික බැඳිමෙන් මිදෙන්නට නම් සෑහෙන වෙහෙසක් දැරීමට සිදුවූයේ එය ජීවිතය පුරාවටම මුල් ඇද ඇති මතකයන් සමූහයකින් පිරී ඇති නිසා වන්නට ඇතැයි ලොකු ඉස්කෝලේ මහත්තයාට සිතුනේ වරක් දෙවරක් නොවේ.අඹ ගස සමඟ තමන්ගේ බැදීම තමා අතදරුවෙකු වූ කාළය දක්වාම ඇදී යන බැවි ඉස්කෝලේ මහත්තයා දනී.

ඉස්කෝලේ මහත්තයා හා සහෝදර සහෝදරියන් සමඟ ලොකු මහත්වුන අඹ ගස පරම්පරා දෙකක් පසු කර වියපත් වෙද්දී  අබල දුබල මහල්ලෙකු සේ මහගෙදර වහලයට බර වෙන්නට පටන් ගත්තේ දැන් අවුරුදු කීපයක සිටය. ලොකු දුව සුභානිද ඇගේ සැමියාද නිවසට පැමිනෙන හැමවෙලාවකම අඹ ගහ ගැන අනතුරු අඟවන්නට වු‍යේ අඹ ගස මහගෙදර වහලයට කඩා වැටීමෙන් තමන් දෙදෙනාට හානි වීමටත් වඩා මහ ගෙදර සුන්දරත්වයට හානි වන නිසාවෙන් බැව් ඉස්කෝලේ හාමිනේට කෙසේවෙතත් ලොකු ඉස්කෝලේ මහත්තයාට නම් රහසක් නොවේ.

තමන් කුඩා කල එකම සහෝදරයා සමඟින් මහගෙදර විශාල ඉඩමේ කෙලි සෙල්ලමේ යෙදෙද්දී මේ මහා අඹ ගස තරුණ අඹ ගසක්ව තිබූ ආකාරය ඉස්කෝලේ මහත්තයාට අද මෙන්ම මතකය. ගමේ ආරච්චිල වූ තම පියාට අයත් ඉඩ කඩම් රාශියක් මෙන්ම මහගෙදර විශාල වත්තද පරම්පරාවෙන්ම උරුම වූවන්ය.

අඹ,පේර, ගස්ලබු, මැංගුස්, ආදී නානා විද පලතුරුද, කොස් දෙල් ආදී ගස් වලින්ද පිරී ගිය මහගෙදර වත්ත බැලු බැලු අත සශ්‍රිකත්වයේ සළකුනු පල කලේ නොඅඩුවමය. මුළු වත්ත පුරාම අන්නාසි, ගම්මිරිස් හා අනෙකුත් යටි වගාවන් මෙන්ම සමහර ගස් යට සුදු වැලි අතුරා මල් වවා තිබුනේ පියාගේ ඕනෑ කමටය.

එදවස ඉතා සරු තරුණ ගසක් වූ අඹ ගස අවුරුද්දේ වැඩි කාලයක් පලින් බරව සිටියේ හැකි හැම මොහේතේම අනුන් සතුටු කිරීමට මෙනි. අත්තා විසින් පැල කරන ලද මේ අඹ ගස මෙසේ පල දරන්නේ අත්තාගේ අත් ගුනය නිසා බව අම්මා නිතරම සිහි කල බැව්  ඉස්කෝලේ මහත්තයාට මතකය.

අතු පතර විහිදී ගිය විශාල අඹ ගසේ අවුරුදු කාලයට ඔංචිල්ලා බැඳ සති ගනනක් යනතුරා ඔංචිලි පදින මහගෙදර ළමයි වෙසක් මාසය එනවිට ඔංචිල්ලාව ගලවා දමා වෙසක් කූඩු හා බකට් එල්ලීමට භාවිතා කරේද අඹ ගසමය. මේ සියළු කාර්‍යන්ට සිය එකඟතාවය හා සහයෝගය ලබා දුන්නා පමනක් නොව අඹ ගස විසින් වසරේ වැඩි කාලයක් මී පැනි රසැති මිහිරි අඹද ලබා දුන්නේ කිසිම ලෝබ කමක් නැතිවමය.

කුඩා කල අඹ ගසේ බැද තිබූ කහ කුරුළු කූඩුද ඒවාගේ පැටවුන්ද දැකීමට උදේ සිට රෑ වන තුරු ගස යට රැක සිටි කාලයක්ද විය. පව් කාර වැඩ කරන්න එපා යැයි අම්මාගෙන් බැනුම අසමින් හොරෙන් හෝ කූඩුවලට එබී බලන්නට අයියා මෙන්ම තමන්ද සමත් වූ අයුරු ඉස්කෝලේ මහත්තයාට අද මෙන්ම මතකය.

අයියා හා රංඩුවක් උන විටද කිසියම් නොහොබිනා කමක් කර අම්මා පහර දීමට එළවාගෙන පැමිනෙන විටද එකම ගැලවුම් කරුවා වූ‍යේද අඹ ගසමය.
"මේ කොල්ලට මහ පාරේ යනවට ලේසි නොවැ අඹ ගහ මුදුනට බඩ ගාන එක"
විටක තම අම්මා කිසියම් වැඩිහිටියෙක් හා පැවසූවේ ආඩම්බරය මුසු ආදරයකින් බව මතක් වී ලොකු ඉස්කෝලේ මහත්තයාට අම්මගේ කරුණාවන්ත මූන හිතේ ඇඳි ගියේය.

අයියා තරුණ වයසින්ම මහන දම් පිරීමට යාමත් ඉන්පසුව අක්කලා හා නංගිලා දීග යාමත් සමඟ දෙමව්පියන් සමඟ මහගෙදර තනිවූ තමාගේ දිවියට නැවතත් සුන්දරම කාලයක් ලඟා වූයේ ඉස්කෝලේ හාමිනේ හා විවාහ වූ පසුව බව සැබෑය.

දන හිස දක්වා වැවී තිබූ කොන්ඩය තනි කරලට ගොතා හැන්ඩ්ලූම් ඔසරියකින් සැරසුන චාම් තරුණිය දුටු ගමන්ම තම හිත ගත්තේ සංසාර ගත පුරුද්දකට මෙනි. ඉස්කෝලේ හාමිනේගේ ලැජ්ජා බර හිනාව මතක් වී ලොකු ඉස්කෝලේ මහත්තයාගේ මුවෙහි හීන් සිනාවක් ඇඳි ගියේ ඔහුටත් රහසෙනි.මණමාලියද ඉස්කෝලේ හාමිනේ කෙනෙක් වීම නිසා දෙදෙනාටම එකම පාසලක ඉගැන්වීමට ලැබීමෙන් දවස පුරාම එකට සිටීම ලැබීමත් එක්තරා ආකාරයක භාග්‍යයකි.

කල් ගතවීමෙන් ලොකු පුතා සුනන්ද,දුව සුභානි හා බාලය සුනෙත් පවුලට එකතුවීමත් සමඟ ඉස්කෝලේ හාමිනේ කාර්‍යබහුල විය. ඒ අතරේ මුලින් පියාත් පසුව මවත් අභාවයට යාම ලොකු ඉස්කෝලේ මහත්තයාගේ හදවතේ දැනුදු වේදනාවෙන් මුසපත් කරන සිදුවීම් දෙකකි.

සිය පියා හවස්වරුවේ අඹ ගස යට සවි කර තිබූ බංකුව මතට වී සැඳෑ සුව විඳිමත් මව කෝපි කෝප්පය සාදාගෙන ගොස් ඔහු අසලින් සිට පිළිසඳර කතාවේ යෙදී සිටීමත් එදවස ඉස්කෝලේ මහත්තයාට මහත් සතුටක් ඇතිකල කරුණක් විය.

පියාගේ හා මවගේ අවසන් කටයුතු සදහා ඉදිකල අවමගුල් මඩුව  සාදනු ලැබුවේද මේ අඹ ගස සෙවනේමය. අඹ ගස පාමුල පිළිසදර කතාවේ යෙදී හුන් ඔවුන් අවසන් ගමන් ගියේද අඹ ගසේ සෙවනේ මදක් නැවතී සිටමය.

ටිකෙන් ටික දරුවන් ලොකු මහත් වීමත් සමඟ ලොකු ඉස්කෝලේ මහත්තයා මදක් කාර්‍ය බහුල වූවද ඉඳහිට දවසක් ඉස්කෝලේ හාමිනේ සමඟින් අඹ ගස සෙවනේ වූ ලී බංකුවේ පිළිසඳර කතාවේ යෙදී සිටීමට අමතක නොකලේ පරන පුරුද්දට මෙනි. දරුවන් කුඩා කාලයේ සඳ පායා ඇති දිනවල රාත්‍රීයේ අඹ ගස යට පැදුරක් දමා පස්දෙනාම කතන්දර හා කවි කියමින් කෝපි බොමින් ගෙවී ගිය සුන්දර රාත්‍රින් සිහිවන විට ඉස්කෝලේ මහත්තයාගේ දෙනෙත් දැනුදු තෙත්වෙයි.

ලොකු පුතා දොස්තර විභාගය සමත්වී එංගලන්තයේ රැකියාවකට යාමත්, දුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර වී රැකියාවට යාමත් ඉස්කෝලේ මහත්තයාලාගේ ජීවිතයේ තවත් සුවිශේෂි සිදුවීම්ය. දුවගේ විවාහ මංගල්‍ය සදහා මගුල් මඩුව සාදන ලද්දේද මේ අඹ ගස යට වීම ඉස්කෝලේ මහත්තයාට සතුටට කරුණක් වුවද දුවත් බෑනත් ඒ ගැන සිටියේ ඒ තරම් සතුටින් නොවන බැව් ඉස්කෝලේ හාමිනේ පැවසුවේ පසුවය.

"එයාලා කියනවා අපේ මහත්තයා හෝටල් වල ගන්නවා මිසක් මේ මඩු ගහලා ගමට ඇහෙන්න සද්දේ දාලා මගුල් ගන්නේ ගොඩේ ඈයෝ කියලා"

ඉස්කෝලේ හාමිනේ බොහෝ අසරණ ලෙසින් එසේ පැවසූ විට ඉස්කෝලේ මහත්තයා සුසුමක් හෙලා නිහඬ වු‍යේ බෑනාගේ මහන්තත්වයත් බොරු පුරාජේරුවත් නිසා ඒ වන විටත් කළකිරී සිටී හෙයින්ය. දෝනියැන්දෑට අනිවාර්යෙන් ඔහුගේ පැලැන්තියට ගැලැපෙන්නට ජීවත් වන්නට සිදුවන බව දන්නා ඉස්කෝලේ මහත්තයා දුව ගැන තිබූ අධික බැදීම හිතෙන් අයින් කරගන්නට සිතා ගත්තේ ඇයගේ විවාහ මංගල්‍ය දවසේමය. එහෙත් ඉස්කෝලේ හාමිනේ නම් අදද දුවගේ කුඩා කල ඇඳූම් ආයිත්තම් දෙස බලමින් ඉඳහිට සුසුම් ලයි. අද දුව දරු දෙදෙනෙකුගේ මවක් වුවද ඉස්කෝලේ හාමිනේට ඇය තවමත් කුඩා අත දැරියකි.

බාලයා සුනෙත් විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් දේශපාලනයට හා කලාවට බැස රතු කමිසයක් හා හම් මල්ලක් කරේ එල්ලාගෙන සරණාගතයෙක් මෙන් ඉබාගාතේ යනු දකින ලොකු ඉස්කෝලේ මහත්තයාට ඇතිවන්නේ මහත් සංවේගයකි. බැන අඩ ගසා ප්‍රථිපලයක් නොවූ තැන ලොකු හාමුදුරුවන් ලවාද අවවාද කරමින් ඔහුව වෙනස් කරන්නට වූ වෙහෙස ගඟට කැපූ ඉනිමෙන් වූයේ ඔහුගේ කරුමයටද තමන්ගේ කරුමයටදැයි ලොකු ඉස්කෝලේ මහත්තයා වරක සිහි කරන්නේ මහත් කණගාටුවෙනි.

"මහත්තයා තාමත් අඹ ගහ ගැන සිතනවැයි. යමු අරහේ කෑම ටික හීතල වෙනවා"

ඉස්කෝලේ හාමිනේ දෙපාරක්ම ඇවිත් පෙරැත්ත කල පසු ඉස්කෝලේ මහත්තයා කෑම මේසයට ගියේ කෑම පිරියෙක් නොවූවද ඉස්කෝලේ හාමිනේගේ  සිත තැලීමට නොහැකි නිසාය. කෑවද නොකෑවද ඉස්කෝලේ හාමිනේ කුස්සියේ උදව්වට සිටිනා සොපිනා සමඟ එක්වී දවල් ආහාරය දානයක් මෙන් සකස් කරන්නේ මහත් භක්තියෙනි.  ඇගේ කෑම මේසය හිස් වන දවසක් නම් නැත. එසේ වෙහෙස මහන්සි වී ඇය සාදන ආහාරය නොදැක්කා මෙන් හිඳ ඇයගේ හිත රිදවීමට ඉස්කෝලේ මහත්තයාට කෙදිනකවත් කල නොහැක. රාජකාරියකට පිට ගියද ඉස්කෝලේ හාමිනේගේ කෑම වේල කෑමට නිවසට ඒමට ඉස්කෝලේ මහත්තයා වග බලා ගත්තේ ඒ නිසාමය.

තම මව් සේම ඉස්කෝලේ හාමිනේද මව් ගුනයෙන්ද කරුණාගුනයෙන්ද අනූන බැව් ඉස්කෝලේ මහතා කන ගමන් සිහිකරේ හදවත පුරා දිවගිය මෙත් සිතිවිල්ලෙනි. අල්ලපු වැටේ ගුනේරිස්ලා අඹ ගසේ ඔවුන්ගේ කොටසට අයත් පළදාව කිසිම ඇහිල්ලක් බැලිලක් නැතිවම නෙලා ගන්නා විට  සොපින් ඔවුන්ට දොස් පැවැරුවද

 " ඔන්න ඔහේ කඩා ගත්තාවෙන් සොපිනෝ අසරණ්යෝ නෙවෙද"
කියා ඉස්කෝලේ හාමිනේ නොදැක්කා සේ සිටී. අඹ කඩා විකුනා ඒ මුදලෙන් කසිප්පු පොලට ගොස් පැමිනෙන ගුනේරිස් ගමේ සෑම දෙනාටම අමු කුනුහරුපයෙන් බැන්නද ඉස්කෝලේ හාමිනේගේ ගුන කියන අයුරු මතක් වන විට ලොකු ඉස්කෝලේ මහත්තයාගේ මුවඟට සිහින් සිනාවක් නැගේ.

"ඔන්න හාමිනේගේ අඹ අල්ලස වැඩ කරනවා" කියා සිනාසෙමින් කීවද ඉස්කෝලේ හාමිනේ දුප්පතුන්ට අසණයන්ට උදව් කරන්නේ කිසිම ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂාවෙන් නොවෙන බැව් ලොකු ඉස්කෝලේ මහත්තයා දනී.

"අපේ මහත්තයා කෑම අත ගගා ඉන්නවා මිසක් කන්නේ නෑ නොවෑ"   ඉස්කෝලේ මහත්තයා මනෝ ලෝකයෙන් මිදුනේ ඉස්කෝලේ හාමිනේගේ කටහඬිනි.

"මට ඇති හාමිනේ හොදටම බඩ පිරිලා" ඉස්කෝලේ මහත්තයා  කෑම මේසයෙන් ඉවත් වෙන්නට සැරසුනද

"අපේ මහත්තයා මේ අඹ කෑල්ලත් කාලම ඉන්න"
කියමින් ඉස්කෝලේ හාමිනේ හොදින් ඉදුනු පැනි බේරෙන අඹ පිරීසියක් මේසය මතින් තැබුවේ ඉස්කෝලේ මහත්තයා පුදුම කරවමිනි.

"මේ අඹ කොහින්ද හාමිනේ?"

"ආවාරෙ වෙලත් හොදට ඉදුන මී අඹ ගෙඩි තුනක්ම එක අත්තක තිබ්බා අපේ මහත්තයා. අඩුම ගානේ වෙන ගැටයක්වත් මලක් වත් තිබ්බේ නෑ. මටත් හරිම පුදුමයි. මම අනිත් ගෙඩි දෙක අරන් තිබ්බා දූලාගේ ගෙදර ගෙනියන්න"

ඉස්කෝලේ හාමිනේ සොම්නසින් කියන විට ලොකු ඉස්කෝලේ මහත්තයා මහත් සංතාපයෙන් සුසුමක් හෙළුවේ අන්තිම මොහෙතේ පවා තමන් සතුටු කරන්නට මහන්සි වූ අඹ ගස ගැන මහත් පුදුමයෙනි...!!

27 comments:

  1. සෑහෙන කාලෙකින් ,අපූරු කතාවක් එක්කම ඇවිත් . ගහකොළ සතා සීපාවා මිනිසාට වඩා හොඳින් කාලගුණ සලකනවා නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන්. ඔව් ටික කාලයක් ලියන්න බැරි වුනා අවිවේකී කම නිසාවෙන්. ඉදිරියට එහෙම වෙන එකක් නෑ. ඔයාල ලියන ඒවට ප්‍රථිචාරයක් දක්වන්න උනත් බැරිවෙන්නේ වෙලාවක් නැති නිසාමයි. ඒකට සමාවෙන්න ඕනේ.

      Delete
  2. කලෙකින් කියවපු හොදම කතාවක්. මගෙ පුන්චි කලය මතක් උනා. හරිම ලස්සනයි. මේ කතව එතුලෙ තියෙනව අමුතුම සමජය අදහස් ගොඩක්. බොක්කටම වෙදුනා. දිගටම ලියන්න. ජය වෙවා !

    ReplyDelete
  3. මේ ගස ගැන කතාව කියවද්දි මතක් වුණේ ගසක කඳුළු කියන පොත. බොහොම කාලෙකින් නේද මේ.

    ReplyDelete
    Replies
    1. මම ඒ පොත කියවලා නෑ නලීන් අයියේ ඒක කෙටි කතා පොතක්ද?.

      ඔව් ටික කාලෙකින් තමා ආයෙත් ලිව්වේ.පහුගිය වැඩ අධික නිසා වෙලාවක් හොයගන්නේ ගොඩක් අමාරුවෙන්.. ස්තූතියි නලීන් අයියට.

      Delete
  4. හරිම ලස්සන සුන්දර කතාවක්, කාලයත් එක්ක අනාගත පරම්පාරාවන්ට පරිසරයත් එක්ක තියෙන ආත්මීය බැඳීම් අමතක වෙලා යන හැටි නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සොමි.. ඔව් කාලයත් එක්කම බැඳිම් කියන දේවලුත් අමතක යනවා. ජීවිතය එහෙම තමයි නේද..

      Delete
  5. මේ අඹ ගහ ජීවිතේම කොටසක්නේ. කොච්චර වුනත් ඕක වහලෙට කඩා වැටෙන්න කලින් කපන්නම වෙනවා මම නම් කියන්නේ. මමත් ඔයවගේ ප්‍රශ්ණ කීපෙකට මූණ දීලා තියෙනවා ගස් සම්බන්ධව. දැනුත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩූඩ් ගස් සම්බන්දයෙන් වගේම ජීවිතය සමබන්දයෙන් උනත් එහෙම තමයි නේද? මම මේ ගහෙන් අදහස් කරේ මිනිස් සිත්වල තියෙන ගලවා ගන්න බැරි අපූරු බැදීම් ගැන.

      ස්තූතියි ඔයාට.

      Delete
  6. බොහොම කාලෙකින් ඔයාව දැක්කේ..සතුටුයි...අර කුමාරිහාමි කතාව දැන් ලියන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සයුරි. රැකියාවෙත් ගෙදර දොරෙත් වැඩ නිසා කාලය හොයාගන්නේ ගොඩක් අමාරුවෙන්. ඒක නිසාමයි ඔයාල ලියන ඒවට කමෙන්ට් එකක්වත් දාන්න බැරි වෙන්නේ. ඒත් මම කියවනවා ඉඩක් ලැබුන ගමන්
      කුමාරිහාමි ලියලා තියෙන්නේ පොතක් විදියටම එලියට දානවා.

      Delete
  7. අම්බෝ.... දැක්ක එකත් සතුටුයි.....
    කතාවට වඩා,,,,,,
    රසයි .... අඹ නොවේ.... කතාව....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්ජි අයියේ..
      ඔයාල ලියන ඒවට මොනාත් ලිව්වේ නැතිවට අමනාප වෙන්න එපා. වැඩ අධික නිසයි ලියන්න වෙලාවක් නැත්තේ. ඒත් වෙලාවක් ලැබුන ගමන් කිවනවා. ඔයාලගේ හිතවත් කමට ගොඩක් ස්තූතියි..

      Delete
  8. සංවේදී ලියවිල්ලක්. මට මතක් උනේ අපේ මහගෙදර වත්තේ තියන අඹ,රඹුටන්,මැන්ගුස්,පෙර වගේ පලතුරු ගස් ටික. වසරේ හැමදාම කොළ ගානටම ගෙඩි තියන පේර ගහයි, වෙරළු ගහයි දෙකම පාර ලොකු කරන්න ගලවලා. පරම්පරා කීයක ළමයි සතුටු කරපු ගස් දෙකක්ද.

    ReplyDelete
    Replies
    1. ම්ම්. ඔයා ඔහොම කියනකොට මට ඒක මැවිලා පේනවා. මගේ පුංචි කාලේ අපේ ආච්චිලාගේ ගෙදරත් ඔහොම තමයි. ආච්චි උදේට හැම ගහක් යටම හොදට අතුගානවා. ජම්බු ලොවි වැටුනම ඒවා කිසිම බයක් නැතිව අහුලන් කන්න පුලුවන්. ඒත් දැන් ඒ ගස් තිබ්බ තැන්ක්වත් නෑ .

      Delete
  9. සෑහෙන කාලයක් ගත වුනා. ඇත්තටම ඔබේ නමත් මට අමතක වෙලයි තිබුනෙ. නැවතත් ලියන්නට කල්පනා කිරීම සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට.... ඇත්තටම මගේ නම අමතක වුනාද? මගේ නම දන්නේවත් නැතිව :D

      Delete
    2. පුංචි කුමාරිහාමි කියන නම...ඔබ වරක් පුවත්පතකට ලියූ ලිපියක් මා දැක තිබුනා...එහි නියම නම දුටු බව මතකයි..නමුත් දැන් මතකයක් නෑ.

      Delete
    3. පුංචි කුමාරිහාමි තමයි... ඒත් ඇත්ත නම ගැන මම ඇහුවේ.. :D

      Delete
  10. හරිම සංවේදි කථාවක් කුමාරිහාමි, කාලයත් එක්ක හැමදෙම වෙනස් වෙනවා, ඒ හැම වෙනසම අපේ ආච්චි සියලාගෙ කාලේ ඉඳන් දැකපු මෙ වගේ ගස් අපි නොදැනුවත්වම අපේ ජිවිතවලට බැඳිලා ඉන්න බව දැනෙන්නෙ එවා කපලා දාන තත්වෙට අපි පත් උනාම නේද. අපේ මහ ගෙදර ඉස්සරත් තිබ්බා අවුරුදු 80 ගනන් පැරණි කොස් ගහක්. ඒක කැපුවෙත් ගෙදරට හානියක් වෙයි කියන බයට. අපේ අම්මා ඒ වගෙම ලොකු අම්ම දෙන්නම අර ඉස්කොලෙ මහත්තයා තරම්ම දුක් උනා එදා එක කපන දවසෙ.!

    ReplyDelete
    Replies
    1. හරිම පුදුමයි.ඔයාටත් එහෙම අතදැකීමක් තියෙනවා කිව්වම. ඒ කියන්නේ ගොඩක් අය තමන් සම්බන්ද පුංචි හරි බැඳීමක් තියෙන දේවල් වලට හදවතින් ගොඩක් බැඳිලා ඉන්නවා කියන එක ඇත්තක් නේද?..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  11. ගොඩක් ආසාවෙන් කියෙවුවා,මං කැමති විදියේ මාතෘකාවක්,,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔමා.. ආවටත් කියෙව්වටත් ස්තූතියි...

      Delete
  12. බැඳීම් ඔහොම තමා.. ඒකනේ ඒවා දුරු කරලා දාන්න කිව්වේ.. දුවව ලේසියෙන් අමතක කරලා අඹ ගහට බැඳීමත් එක අතකින් පුදුමයි...

    කතාව ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. සෙන්නා කාලෙකින්... !! ස්තූතියි ..

      දුවව ලේසියෙන් අමතක කරලා නැතිව ඇති නේද? එහෙමත් අමතක කරන්න බෑනේ.

      ඒත් සමහර මිනිස්සුන්ට වඩා ගස් ගල් පවා මනුස්සකම , කෙලෙහිගුන දන්න නිසා ගහට බැඳීම වැඩි ඇති. මොකද ගහක් අපිට මොනා හරි දෙන්නේ අපෙන් දෙයක් බලාපොරොත්තුව නෙමෙයිනේ.

      ඒ වගේම අපි වතුර පොහොර දැම්ම කෙලෙහිගුණයටවත් ඔවුන් අපට මල්, ඵල දෙනවානේ. ස්මහර මිනිස්සු එහෙමවත් නෑ නේ.

      Delete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...