Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Oct 22, 2013

සංජනාගේ ප්‍රේමය....



වෙරෝනිකා මැරෙන්න තීරනේ කරේ ජීවත් වෙන්න කම්මැලි හිතුන නිසානේ. ඒත් සංජනා මැරෙන්න තීරණය කරන්න ඇත්තේ මොකක් නිසාද කියලද හිතෙන්නේ?

අපේ ඉස්කෝලේ අපේ පන්තිවල හිටපු ලස්සනම කෙල්ල සංජනා. සංජනාට  තිබ්බේ අමුතුම ඇස්දෙකක්. ඒ ඇස් දෙකේ තිබ්බ ගුප්ත ලස්සනට වෙන්න ඇති ඔය තරම් කොල්ලෝ එයාට පිස්සු වැටුනේ.සමහරු නම් එයාට එක එක නිළියන්ගේ නම් කිව්වා ගොඩක් අය කිව්වේ කාජල්ගේ ඇස් දෙකයි මධුරිගේ හිනාවයි එකතුවෙලා කියලා.  හැබැයි  සංජනාට නම් ඒවා වගේ වගක් නෑ.අපි හැමෝම අතරේ සංජනාගේ ඇස් දෙක කැපිලා පෙනුනේ හරියට මහරෑක කනාමැදිරි එළිවගේ.

සංජනා දුප්පත්ම කෙල්ලෙක් නොවුනත් සාමාන්‍ය පවුලක අහිංසක කෙල්ලෙක්. තාත්තා රජයේ දෙපාර්තමේන්තුවක ලිපිකරුවෙක්. අම්ම නම් රැකියාවක් කරේ නෑ. අහිංසක විදියට ජීවත් වුන ඒ මිනිස්සුන්ගේ හිත්වල බලාපොරොත්තුව සංජනා කියලා ඒ කාලේ එයාවත් දන්නේ නැතිව ඇති.


මොනතරම් කොල්ලෝ පස්සෙන් ආවත් සංජනා හරිම අහිංසක නිහතමානී කෙල්ලෙක් කියලා කියන්නම ඕනේ. ඉස්කෝලේදී ටියුශන් ක්ලාස් එකේදී අපි හිටියේ එකටමයි. සංජනාට හම්බවෙන චොක්ලට් වලට වග කිව්වෙත් අපිම තමයි.  කොල්ලන්ගෙන් චොක්ලට් කන්න සංජනාට ඕනේ නැති උනත් අපි සංජනා යාලු කරලා දෙන පොරොන්දුවට කොල්ලන්ගෙන් චොක්ලට් කෑවා.

ඒවා ඉතින් ආන්තරීය පාප කර්ම නෙමෙයිනේ කියලා අපි හිනාවුනාට පස්සේ නම් හිතුනා කරේ නරක වැඩක් තමයි කියලා. ඒ වුනාට ඉතින් ඒ කොල්ලොත් දැනගන්න එපැයි අමාරුවෙන් අම්මලා දෙන ටියුෂන් පීස් වලින් කෙල්ලන්ට චොක්ලට් අරන් දෙන එක නොහොබිනා කමක් කියලා.
සංජනාට චොක්ලට්, තෑගි එවන කොල්ලෝ ඊට පහුවෙනිදාට අපෙන් උත්තර ඉල්ලුවාම අපි කියන්නේ "අපෝ එයා තාම ඕවා ගැන හිතලවත් නෑලු" කියලා. සමහර වෙලාවට කොල්ලන්ගෙන් හොදට අපි බැනුමුත් අහගත්තා. ඒත් සංජනා නෙමෙයි අපිට වචනයකින්වත් අනුබල දුන්නේ.

එක එක ජාතියේ සමනල්ලු , බඹරු සංජනාගේ වටේ කැරකුනත් සංජනාගේ හිත නැවතුනේ එක ඹබරෙක් ලඟ. කොල්ලා හැබෑම ලස්සනයි ඒ පලාතේ හිටිය හැම කෙල්ලගෙම හීනේ වෙලා හිටියේ මේ කුමාරයා තමයි. සමහර කෙල්ලෝ නම් කිව්වේ ජෝබ් එබ්‍රම් කියලා, තව අය කීවා ටොම් කෘස් වගේ කියලා

හිත ගිය තැන මාලිගාව කියනවනේ. හැබැයි මේ බඹරත් සෑහෙන යුද්දයක් කරලා,විදින්න තියෙන හැම දඩුවමක්ම විඳලා තමයි සංජානා කුමරියගේ අනාගත වල්ලභයා වීමේ වරප්‍රසාදය හිමි කරගත්තේ. සංජනා මුලින්ම කැමති වුනේ නෑ. මේ පෙම්බරා නිකන් හිටියේ නෑ. දෙන්න තියෙන හැම පොරොන්දුවම දුන්නා. ලෝකේ වටේම දුවලා කේට් කුමාරිටත් නැති තරම් සැප සම්පත් කකුල් දෙක ලඟටම දෙන්නම් කියලා සංජනා ලඟ බැගෑපත් වුනා.
.
බඹරා ආදරේ අමාරුවෙන් දිනාගත්තට මොකද ඊට පස්සේ ඒක රැකගන්න නම් ඒ තරම් උනන්දුවක් නෑ වගේ කියලා පස්සේ පස්සේ බලන් ඉන්න අයට නම් තේරුනා.ඒ අතරේ තව දකින අංගනාවන්ට බැල්ම දාන්නත් ආදර කතා කියන්නත් බඹරා පසුබට උනෙත්  නෑ.  සංජන ඒවා ගැන ඇහුවම කිව්වේ. "පාරේ තියෙන පයිප්ප වලට කට අල්ලන්නේ තිබහටම නෙමෙයිනේ සුදූ.. ඔයා ඉද්දී මට වෙන අය මොකටද" කියලා.

පෙම්බරා ගලක් පෙන්නලා මලක් කිව්වත් විශ්වාස වෙන තරමට සංජනා එයාව විශ්වාස කරන්න ගත්තේ කවදා ඉදන්ද අපි දන්නේ නෑ. ඒත් සංජනා පෙම්බරාව අදහගන්න ගත්තා. පුළුවන් නම් පෙම්බරාගේ පිළිමයක් හදලා කහ වතුරෙන් උදේ හවා නාවලා දුම් අල්ලන්නත් එයා ලෑස්ති වෙලා හිටියේ.

හැමෝම සංජනාට අනතුරු අඟවන්න ගත්තා “ඔය මල් දුන්න්නෙන්” වඩින ඉලංදාරියා නම් කවදා හරි හොද පාඩමක් උගන්නයි කියලා.ඒ වුනාට සංජනා හිටියේ එයාගෙම ලෝකෙක.

ඒ හීනේ හිටියේ එයාගේ පෙම්බරා විතරමයි, පෙම්බරාගේ හීන කන්දට යටවෙලා පොඩිවෙලා සංජනාට එයාවත් අමතක වෙලයි තිබ්බේ. පෙම්බරා ගැන හීන දකිනවා ඇරෙන්න සංජනාට ඒ දවස්වල කන්න බොන්නවත් වෙලාවක් තිබ්බෙත් නෑ.

හැමදාම උදේට පෙම්බරා ගේන හීන කන්ද හවස්වෙනකොට කලින් ඒවට එකතුවෙනවා. පෙම්බරාට එනන් බැරි දවස්වලට ජංගමයා අතේ හීන කන්දක් ලියලා එවනවා. ඒ හීනවල තිබ්බේ දෙන්න එක්ක එකතුවෙලා කන්දක් උඩ පුංචි පැලක් හදලා ඒක ඉස්සරහ මල් හදන හැටි, තවත් ඒවගේ දරුවෝ හදලා එයාලට දාන නම් එහෙමත් කතා වුනා. ඒ නම් කියාගන් බැරි දිව උලුක් වෙන ඒවා උනත් සංජනා ඒ නම් බොහොම අමාරුවෙන් කටපාඩම් කරගත්තේ පෙම්බරා ආස නිසා

සංජනා උදේට මල් වට්ටියකට නෙලලා පැන් ඉහලා පෙම්බරාට පූජා කරා. පෙම්බරා පූජාසනේට වෙලා සංජනාට පිරිත් කිව්වා.

ටික කාලයක් මේ දෙන්නා රෝමියෝ ජූලියෙට් උනා, තවත් කාලෙක රාධා ක්‍රිශ්නා උනා. හැබැයි පෙම්බරා එයාලව සිදුහත් යශෝදරාට සමාන කරනවට නම් කොහෙත්ම කැමති වුනේ නෑ. දෙන්න හීන හතක් මැද ආදර මාලිගා හැබැහින්ම හැදුවා. ආදර පොතේ අන්තිම පරිච්ඡේදය විවාහය කියලා හැමෝම කියන නිසා සංජනාත් අර මායාකාරි ඇස්වලින්ම පෙම්බරාගෙන් විවාහ පොරොන්දුව ඉල්ලුවා. 

සංජනා හිතුවෙම ඉල්ලපු ගමන් පෙම්බරා පස්වනක් ප්‍රිතියෙන් ඉපිලිලා ගිහින් එයාගේ ප්‍රේම රාජ්‍යයේ අගබිසව් තනතුරු සංජනා කුමරියට පුද කරයි කියලා. ඒත් ඉතින් චොක්ලට් කනවයි, රෝස මලි තෑගි දෙනවයි වගේද විවාහ පොරොන්දු දෙන එක. මේ මෝඩ කෙල්ලන්ට මේව නොතේරෙන හැටි කියලා පෙම්බරාට කේන්තිත් ගියා.

ඉල්ලන පලියට දෙන්න පුළුවන්ද කියලා එයාට නොහිතුන හැටි. පෙම්බරාට එහෙම ලේසියෙන් විවාහ පොරොන්දු දෙන්න බෑ. එයාගේ රාජවංශෙන්, රාජකීය පවුලෙන් අවසරය ඔනේ. අනික කෙල්ලන්ට ඕන විදියට ඕවා කරන්න පුළුවන්ද?

 "බලපල්ලා මේ කෙල්ලෝ මාර ඇන බං. මුංට බඳිනවට වඩා දෙයක් නෑ. ඇහුවොත් කියන්නේ බඳිමු, බඳිමු.. කියලා" පෙම්බරා යාලුවොත් එක්ක කියලා හීල්ලුවා. 

සංජනා අඬා වැලපුනා. පෙම්බරාට මේක කොල්ලන්ගේ භාෂාවෙන් කියනවනම් “මල ඇනයක්, ඇන ගෙනාපු නැවක්” වුනා. 

සංජනා  මොනා කරන්නද. අඬන තරමට තමා කිරි එරෙන්න කියලා පොඩි කාලෙ අහලා තිබ්බත් පෙමබරාගේ හිතනම් උනු වුනේ නෑ.

සංජනා ජීවත් වුනේ හිතේ ලොකු තුවාලයක් හංගගෙන .හොර රහසේ තුවාලෙට අත්බෙහෙත් කරත් ඒක හොද උනේම නෑ.  හොරෙන් හොරෙන් කොට්ටේ තෙත් වෙනතුරු ඇඬුවට තුවාලේ වැඩි වුනා මිසක් අඩුවක් නම් නෑ. ඔය අතරේ තමයි සංජනාගේ හිතේ තිබ්බ තුවාලේ ටිකෙන් ටික එලියට ආවේ. ක කොහෙන් හරි පිට දාන්න ඕනේ වුන තුවාලේ හිතෙන් එලියට ඇවිත් සංජනාගේ කකුලේ ස්ථීරව පදිංචි වුනා.

පෙම්බරා ටිකෙන් ටික අතිශයින් කාර්‍යබහුල උනා. පෙමබරාගේ ජංගමයා හැම වෙලේම ගොළුවුනා. සංජනා එයා වැඩ කරන තැනට හොයාගෙන ගියත් "මහත්තයා එළියට ගිහින්"  පෙම්බරාගේ රාථාචාර්යා එකම උත්තරේ දුන්නේ පරන ග්‍රෑමෆෝන් එකක් වගේ.

පොඩියට තුවාලේ ලෝකෙට පෙන්න ගන්න කොට පෙම්බරා සතරවරිගේ හිත හදන්න දීගෙක යන්න ලෑස්තිවෙනවා.

“  හදිසියේම පෙම්බරා ආවා සංජනා බලන්න. " මට සමාවෙන්න මම වැරදි.මට ඔයාව බඳින්න විදියක් නෑ ඔයාට කලින් මම එයාට පොරොන්දු වෙලා හිටියේ අනික අපේ ගෙවල් වලිනුත් මේක කතා කරලයි තිබ්බේ ඉස්සර ඉදන්ම. අපි හොඳ යාළුවෝ වගේ ඉමු.පෙම්බරා ශෝකාලාපයක් කියද්දී සංජනා හිටියේ හිනාවෙන්නද අඩන්නද කියලා හිතා ගන්න බැරිව. ඇයි දෙයියනේ දැන්ද සහෝදර කම මතක් වෙන්නේ? පෙම්බරා අයියා කොච්චර හොද අයියෙක් වෙයිද කියලා මේ කතාව අස්සෙත් සංජ්නාට හිතුනාඅ. ඒත් ඉතින් මේ වගේ කතාවක් මීට කලින් වටේ පිටේ හැමෝම කිව්වනේ.

පෙම්බරා එයාගේ පෙම්බරි එක්ක යන්න ගියා. සංජනා තුවාලේ එක්ක දවස ගෙවන්න පටන් ගත්තා. මුලදී  වේදනාව දරාගන්න බැරි තුවාලේ දිහා බලලා එක එක්කෙනා එක එක ඒවා කිව්වා.

 “අපි ඔයාට කිව්වනේ” “ඕයාට හොද පාඩම” “දැන් ඉතින් මොනාවා කරන්නද ඔය කකුල කපලා දාන්න” 

කවුරු මොනවා කිව්වත් පෙම්බරා නිසා ලැබුන තුවාල කකුලටත් සංජනා ආදරේ කරා. "මේ තුවාලේ එයා නිසා. ඒක නිසා මම ඒ තුවාලෙට ආදරෙයි".

සංජනා තුවාල කකුල ලෝකෙට පෙන්න පෙන්න පොලවේ පස් කකා ඇඩුවා. ඒත් තුවාලේ හොද වුනේ නම් නෑ. එක එක්කෙනා එක එක ප්‍රතිකර්ම යෝජනා කරත් ඇත්තෙන්ම සංජනාට තුවාලේ හොද කරගන්න තදබල ඕනේ කමක් තිබ්බේ නෑ. එයාට ඕනේ උනේ පෙම්බරා නිසා ඇතිවුන තුවාලේන් එයා විදවන්නයි, විදවන හැටි ලෝකෙටත් පෙම්බරාටත් පෙන්නනයි. ඒකෙන් පෙම්බරාගේ හිතේ පසුතැවිමක් ඇතිවෙයි කියලා සංජනාගේ යටිහිත බලාපොරොත්තු වෙන්න ඇති.

ඒත් ඉතින් පෙම්බරාට උඩු හිත්, යටි හිත්වලට අමතරව තව හිත් ගොඩක් තිබ්බ නිසා එයාට ඒක ඒ තරම් දැනුනේ නැතිව ඇති.

කිසාගෝතමී නොමල ගෙයකින් අබ හොයන් ගියා වගේ සංජනාත් තුවාලෙට බෙහෙත් හොයන් ගියා. හොයන් ගියාට. තුවාලේ පෙන්න පෙන්න දුක කීවට එයාට තුවාලේ හොද කරගන්න ඕනේ කමක් නෑ කියලා එයාගේ හිත දොස් කිවා. එයාට ඕනෙ උනේ තුවාලේ පෙන්න පෙන්න පෙම්බරාට රිද්දන්න. ඒත් එක නිසාම තමන් විදවන හැටි එයාට තේරුම්ගන්න බැරි උනා.

“වෙරෝනිකා මැරෙන්න තීරනේ කරේ ජීවත්වෙන්න කම්මැලි නිසා” කියලා සංජනා කොහොදෝ දැක්කා. ඒත් සංජනා මැරෙන්න තීරනය කරේ තුවාලේත් එක්ක ජීවත් වෙන්න ඕනේ නිසා.

සංජනා වැරදිද මංදා. තාමත් අර තරු ඇස් වල එක කඳුලු බිංදුවක් තියෙනවා ඇති.

සංජනා අන්තිමේදී මැරෙන්න තීරනය කරලා කියලා දැනගත්තම අපි පුදුම උනේ නෑ. ඒත් සංජනා මිය ගියේ මීට ගොඩක් කාලෙකට කලින් කියලයි අපි දැනන් හිටියේ. එයා තාමත් ජීවත්ව ඉන්නව කියලා දැනගන්න ලැබුනෙත් මේ ආරංචිය නිසා.

අන්තිමේ සංජනා මිය ගියා කියලා හැමෝම පිළිගත්තා..



40 comments:

  1. ඉතාමත් හොද නිර්මාණයක්.
    උපහැරණ යොදල තියෙන විදිය නම් හරිම අපුරුයි.
    කීප සැරයක් කියවන්න හිතෙන ලෙසටම ලියල.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කෙන්ජි අයියට..

      Delete
  2. මොකක් හරි ප්‍රශ්ණයක් උනාම මැරෙන එක නෙමේ ඒකට විසදුම...."මම මේ කිවුවෙ නීතිමය පැත්තෙන්"

    නමුත් ප්‍රශ්ණ කියන දේ එක දිගට ජීවිතේට එද්දි.... මැරෙන්න තමා හිතෙන්නෙ.......

    ReplyDelete
    Replies
    1. ඔව් මේ ප්‍රශ්නේදී නම් මැරෙන්න හිතෙන්නේ හිතින් නේද?.. ස්තුතියි ඔයාට.

      Delete
  3. ඒ වගේ මැරීමක් විවාහයෙන් පස්සෙත් වෙන්න තිබ්බා. ජෝබ් ඉබ්‍රම් කරපු වැඩේ හරි මං හිතන්නේ සංජනා විචක්ෂණශිලි නොවූ, කිසිවෙක් ෆලෝ කරන්නෙක් හා ඇස් දෙක හරියට ඇරල පොලවේ පය ගහල ජීවත් නොවුන කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. ජෝන් එබ්‍රහම් බොරු කාරයෙක්නේ .. හරි නරකයි නේද?... සංජනා බොළදයි හැම කෙල්ලෙක් වගේම ආදරය ඉස්සරහ එයත් ගොඩක් බොළදයි.

      Delete
    2. ඒක තමා කියන්නේ.. ගොං කමට බැන්දනං ජොබ් ඉබ්‍රව්ව, ඒ විවාහෙම සංජනාට මරණයක් වේවි...

      Delete
    3. ඔව් එහෙම වෙන්නත් තිබුනා තමයි.

      Delete
  4. කව්ද හරි කව්ද වැරදි නෙමි මේකේ හොයාගන්න බැරි කාටද බනින්නේ කියන එකයි.... කොහොම හරි අවසාන උනේ තවත් ජිවිතයක් (ද දෙකක්ද)අකාලයේ අහිමිවීමෙන්

    ReplyDelete
    Replies
    1. කාටවත් බනින්න බෑ නේ. මේක සිතිවිලි වල ගැටුමක් විතරනේ:

      Delete
  5. හ්ම්ම්ම්ම්ම් .................

    ReplyDelete
  6. ඉස්කෝලේ යන කාලේ තමා ඔය වගේ ආදර කතා මුලින්ම පටන් ගන්නේ. ඒවා ගැන අටෝරාසියක් බලාපොරොත්තු පොදි ගහ ගන්නෙත් ඔය කාලේ. ඒ උනාට ඕනම කෙනෙක් ඕනවට වඩා විශ්වාස කරන්න හොඳ නෑ කියන කාරණේ තේරුම් ගන්න ඕන. ඒ නිසයි මේ කරදරේ සිද්ධ වෙලා තියෙන්නේ.

    සංජනා ගැන පවු කියලත් හිතෙනවා !

    ReplyDelete
    Replies
    1. ඇයි පෙම්බරා පව් නැද්ද.. :D :D

      Delete
  7. උඩු හිතටයි යටි හිතටයි අමතරව තවත් හිත් ගනනාවක් තියෙන උන්ට පෙම් බඳින කාටත් මේකෙන් ඉගෙනගන්න දෙයක් තියෙනවා කියලා මම හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ වගේ හිත් ගොඩක් තියෙන්නේ ගෑනුන්ටද පිරිමින්ටද? අනේ මංදා ඔන්න දැන් මාත් එක්ක පැටලෙන්න එපා මම පුරුශ විරෝදී කියලා. :D :D

      Delete
  8. සන්ජනා මැරුන කියන එක මෙ තරම් සරලද.කවුද මෙතන වැරැද්ද කලෙ.කොල්ලද ,අවන්ක නැතිකෙනෙක් විස්වාස කල සන්ජනාද.
    හය හතර

    ReplyDelete
    Replies
    1. නෑ සරල නෑ. සංජනා මැරුනේ නෑ. මැරුනේ අතීතය..

      Delete
  9. ඔය වගේ පෙම්බරුන්ට රැවටෙන ඔක්කොම සංජනාලා මැරෙන්න තීරණය කලොත් දවසට දහස් ගනනින් සංජනාලා මිය යයි. ආදරයම රවටන ආදර වන්තයින් කොතෙක්ද??

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒ විදියට සංජනාලා මැරෙන්න ඕන. නැවත ආයෙත් ඉපදෙන්න ඕන අළුත් සංජනාලා විදියට. ඒකයි මම කියන්න උත්සහ කරේ.

      Delete
  10. මගේ යාළුවෝ හැමෝටම දෙන්න තියෙන්නේ පොදු උත්තරයක්.

    මම හිතන්නේ මම මෙතන සාර්ථක උනේ නෑ.

    මගේ අදහස ඔයාලා කාටත් හොදින් ග්‍රහනය කරගන්න බැරි වුනා කියන්නේ මගේ අසාර්ථකත්වය.

    මට ඕනේ උනේ. "සංජනා මැරුනා" කියලා කියන එකෙන්.එයාගේ බොළ්ද ප්‍රේමය මියගියා කියන්න මිසක් එයා දිවි නසා ගත්තා කියන්න නෙමෙයි. අනිත් කාරනේ අර තුවාලේ කියලා ආදේශ කරෙත් එයාගේ විරහ වේදනාව.

    ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අදහස් දැක්වූවාට.

    ReplyDelete
    Replies
    1. හොඳ සිහියෙං ඉන්නකොට නොතේරෙන සීන් දෙකක් දාගත්තහම තේරුම් යනවා. ඒ නිසා දැන්ම පෝස්ට් එක වෙනස් කරන්ඩෙපා..

      මේ සිකුරාදා වෙනකන් ඉඳිං නඟා !

      දෙකක් දාගෙනම කියෙව්වට පස්සෙත් තේරෙන්නේ නැත්තං පෝස්ට් එකේ අවුලක්. එතකොට වෙනස් කරමු... (හිනා)

      Delete
    2. අම්මෝ.. මතට තිත නේද?.. :D :D

      Delete
    3. ඕ... තිතට මත...
      ඇත්තටම තිත විතරක්ම නෙමේ... තිතයි කොමාවයි !!!

      Delete
  11. මම ඔබට ලියල තිබෙන දෙයින්,සහ ඔබ දී තිබෙන,
    >>මගේ අදහස ඔයාලා කාටත් හොදින් ග්‍රහනය කරගන්න බැරි වුනා කියන්නේ මගේ අසාර්ථකත්වය.<<
    එම පිළිතුර ගැලපෙනවද ලක්මිණි නංගෝ.....?
    මගෙ කොමන්ට් එකට?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. ඔන්න මම කෙන්ජි අයියට ගොඩක් ස්තූතියි කියලා ලිව්වා හොදේ.. :D :D

      Delete
  12. මට හැමෝම බනිනවා. මගේ වැරැද්දක් නැතුව. මම දැන් මේක ඉවසගෙන හිටියා හොඳටම ඇති කියලා හිතෙනවා. මම මොකටද ඔයාලගේ දේවල් තව දුරටත් ඉවසන්නේ. ඔයා හිතන්න එපා මම අධ්‍යාපනය ලබලා නැති මැට්ටියක් කියලා. සේරම මම දන්නවා. ඔයාලා සේරම එකයි. මේ එකම එක් කෙනෙකුගේ බොගග් නේද? මම ඔයා හිතනවට වඩා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබපු කෙනෙක්.

    ReplyDelete
  13. කථාව බොහොම ලස්සනට ලියලා තියෙනවා කුමාරිහාමි...එක හුස්මටම කියෙව්වා...බොහෝ කථා වල කොල්ලා කට්ට කාලා දැරිවිව සැට් කරගත්තට පස්සෙ දැරිවි පණ පුදලා ආදරේ කරනවා...ටික කාලෙකින් කොල්ලට ඒකෙ අගයක් / වටිනාකමක් නැතුව යනවා...ඇයි එහෙම වෙන්නෙ...ආදරය කරන කාලෙ ඈ තුලින් බලාපොරොත්තු වෙච්ච දේවල් නෑ කියලා දැනෙනකොටද ? ඔයාට මොකද හිතෙන්නෙ ඒ ගැන ?

    ReplyDelete
    Replies
    1. මට හැමෝටම එකම දේ ආදේශ කරන්න බෑ.

      එත් ඔයා කියන එක ඇත්ත. මම හිතන්නේ පිරිමි ස්වභාවයෙන්ම කැමති ආක්‍රමනශීලී ලෙස දෙයක් ලබාගන්න. ඒක අපේ පරිනාමයේ ඉදලා එන මානසික තතවයක්. ඒ දේ ලබාගත්තයින් පස්සේ ඒ ගැන තියෙන උනන්දුව, ආශාව එයාලගෙන් ගිලිහෙනවා.

      ඒත් ගෑනු අය එහෙම නෙමෙයි. එයාලාගේ ආදරය ලෙංගතුකම කාලයත් එක්ක වැඩි වෙනවා. බැදීම වැඩි වෙනකොට වැඩි කාලයක් එකට ඉන්න උත්සහ කරනවා. පිරිමි අය ගොඩ දෙනෙක් මේක ප්‍රිය කරන්නේ නෑ. එයාල හිතන්නේ ඒක තමන්ගේ නිදහසට බාදාවක් කියලා.
      ඒක වෙන්න ඇති ඉස්සෙල්ලා කොල්ලා පස්සෙන් ගිහින් පස්සෙ කෙල්ලට පස්සෙන් යන්න වෙන්නේ... :D :D

      Delete
  14. කතාව අපූරුවට ගොඩ නඟන් ඇවිත් හොද අවසානයක් දීලා තියෙනවා.. ටික දවසකින් තමයි හොද කතාවක් කියෙවුවේ..

    ඔයාගේ කමෙන්ට් එක ගැන කියන්න තියෙන්නේ ඒක දාන්න ඉක්මන් නොවී ඉන්න තිබුනේ.. කියවන කෙනාට ටිකක් හිතන්න ඉඩ දෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ් මම කමෙන්ට් කරා කල් වැඩිද? ඒත් මට හිතුනා හැමෝම වැරදියටයි ඒක වටහාගත්තේ කියලා.

      Delete
  15. සංජානා මියගිහින් ගොඩක් කල් කියලා සන්ජනාටත් තේරෙන්න ඇති මන් හිතන්නේ ...ලස්සන කතාවක්....ඒ පෙම්බරා අදත් ඉන්නවා සංජානාලාත් ඕන තරම් .....එත් මේ කතාව වෙනස් වෙන්නේ නෑ

    ReplyDelete
  16. සංජනාගේ තුවාලය කියන්නේ විරහව බව තේරුම් ගත්තා. නමුත් මියගියා කියද්දී ඒක වටහාගන්න මට බැරි උනා. ඒ අතින් බැලුවාම මමත් අසාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අසාර්ථක මම. ඔයාලට තේරුන විදිය. මම ලියපු විදියෙයි වැරද්ද. ස්තූතියි ඔබට.

      Delete
  17. කතාව ගොඩක් ලස්සනයි. බලාපොරොත්තු දීල හීන බිදල දාන බඹරු කොච්චර ඉන්නව ද. එක හිතක් තියාගන්න කියල කිය කිය තව හිත් පස්සෙ යන අය කොච්චර ඉන්නවද. එහෙම කරන එක සාධාරණ නෑ. පොඩ්ඩක්වත් සාධාරණ නෑ. ඉතින් එහෙම වුනාම සංජනා මැරෙන එක හොදයි. ජීවිතේ නිදහස ලැබෙන එක එහෙම ආදරයක් හිතේ තියනං ඉන්නවට වඩා හොදයි.

    ReplyDelete
    Replies
    1. ඔයාට ගොඩක් ස්තුතියි සිඟිති අදහස් දැක්වූවාට.

      Delete
  18. බොකු බඩවැල් අන්නසෝත්‍රෙටම වැදුන කතාවක්. ඕකට කියන්න ඕනි කරුමෙද , ලබා උපන් හැටිද , දෛවයද නැත්නම් මෝඩකමද මොකද්ද කියන්න දැන්නැතු උනත් මැරෙන එකනම් මොනම ප්‍රස්නෙටවත් මෙව්ව එක නෙවෙයි

    ReplyDelete
    Replies
    1. ඒ හැමදේම වෙන්න ඇති තරුවෝ..
      ස්තූතියි ඔයාට. ගොඩක් කාලෙකින් දැක්කේ.

      Delete
  19. මමත් නිකං කරකවල අතෑරියා වගේ උනා මුලින්ම. පස්සෙ කමෙන්ට් කියවනකොට තමා අන්තිම කෑල්ල තේරුනේ... කොහෙද ඉතින් ඔච්ච්ර ගැඹුරුවට මට ඒක හිතුණේ නෑනෙ.. (ඔයා අවසන් කරපු හැටි අසාර්ථකයි කියල නෙවි කිව්වෙ. මම බැලුවෙ වෙන පැත්තකින්)

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඔයාලට තේරුන විදිය වැරදි නෑ මම හිතේ දෙයක් තියාගෙන ලියලා තියෙන්නේ වෙන අදහසක් එන විදියට. එතනදී අසාර්ථක මම.
      ගොඩක් ස්තුතියි තොටියාට. කාලෙකින් දැක්කේ... ස්තුතියි ආවට

      Delete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...