Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Jan 15, 2015

සතුටේ රහස....





පසුගිය නත්තල් සමයේ අත්විදින්නට ලැබුන අත්දැකීමක්....

නත්තල වෙනුවෙන් මුළු යුරෝපය සේම ඉතාලියද ඇවිස්සුන කඩිමුලක් සේ සූදානම් වූ  අතර නත්තල් උත්සවයෙන් පසුව එළබෙන නව වසර සැමරීම සඳහාද සියළුම දෙනා ඒක රාශී වන්නේ ඉතාමත් උනන්දුවෙන් හා ආසාවෙන්ය.මා ඉතා ලඟින් ඇසුරු කරන ඉතාලි ජාතික කාන්තාවක් වන ඉයොලන්දා මහත්මිය මිලානෝ නගරයේ රතු කුරුස සංගමයේ වගකිව යුතු නිළයක් දරන  වයස 83 ක් වයසැති කෙනෙකි. ඇය නිසාම පසුගිය නත්තල් සමයේ රතු කුරුස සංගමය විසින් සංචිධානය කරනු ලැබූ නත්තල් උත්සවයට සහභාගි වීමට අපට අවස්ථාව උදාවිය. වැඩිහිටි නිවාසයක නේවාසිකයන් වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම උත්සවය ඉතාමත් අලංකාර ලෙස පැවැතුවුන අතර සියළුම නේවාසිකයන් හට තෑගි බෝග ආහාර පානාදියද ලබා දී ඔවුන් සමඟින් දවස මුළුල්ලේ විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙමින් සියළුම දෙනා සතුටට පත් විය.

එහිදී එහි නේවාසිකව සිටින 90 හැවිදිරි පියෙක්  පිළිබදව සියළු දෙනාගෙම අවධානය යොමු වූයේ ඔහු අන් අය අතර විශේෂයෙන් කැපී පෙනුන නිසාය. මෙම ඉතාලි ජාතික පුද්ගලයාගේ නම් මතේයෝ වන අතර ඔහු එතන සිටි වයස්ගතම පුද්ගලයාය. උත්සවය සංවිධානය කරවූවන් එහි සිටි වැඩිහිටියන් වෙනුවෙන් කෙතරම් දේ කර ඔවුන් සතුටු කිරීමට උත්සහ කලද බොහෝ දෙනා සිටියේ සිත පතුලෙන් කණගාටුවෙන් පසුතැවීමෙන් බැව් ඇතැම් අයගේ මුහුණු දුටු විට මට හැඟුන කරුන විය. එහෙත් මතේයෝ නැමැති මෙම පුද්ගලයා ඉතාමත් හොද කල්පනාවෙන් මෙන්ම පැහැදිලි සතුටකින් සැහැල්ලුවකින් සියළු දෙනාම සතුටු කිරීමට ඇප කැප වී සිටියේ බොහෝ කැමැත්තෙනි.

වරක ඔහු පියානෝව වාදනය කරමින් ගී ගැයූ අතර ඉනපසු නාට්‍ය කොටස් හා හාස්‍ය උපදවන ජවනිකා මගින් අන් අය සතුටු කලේය. දිවා ආහාරයේදී පවා පැමිණ සිටි සියළු දෙනාට ස්තුති පුදකරමින් හා සුභ පතමින් බොහෝ හිතවත්ව කටයුතු කරේ අන් අයගේ හිත්වලටද සැහැල්ලුවක් ඇතිවන පරිදිය.මෙතරම් වයස්ගත පුද්ගලයෙක් මෙතරම් ජීවි බවින් යුතුව සතුටෙන් සිටීමට හේතුව දැන ගැනීමට එහි ගිය බොහෝ දෙනාට ඇවැසි වූ අතර, ඇතමෙක් එහි පාළකයාගෙන් ඒ පිළිබදව විමසීය. ඔහු පවසා සිටියේ “අනිත් අය බලන්න කවුරු හරි ආවත් මතේයෝ බලන්න කිසිම කෙනෙක් එන්නේ නෑ ඒත් ඔහු නම් ඉන්නේ හැමදාම හිනාවෙලා” යනුවෙනි. අවසානයේ මතේයෝ විසින් ස්වෙඡාචාවෙන්ම සිය ජීවිත කතාව සියළු දෙනා ඉදිරියේ පවසා සිටියේ හැමදෙනාම ඔහුගේ සතුටේ රහස අසා සිටි බැවිනි.

“මම මේ තරම් සතුටෙන් ඉන්නේ කොහොමද කියලා හැමෝම මගෙන් අහනවා. මම දන්නේ නෑ ඇයි මිනිස්සු දුකෙන් ඉන්නේ කියලා. දුක් වෙන්න අඩන්න ඕනේ තරම් දේවල් මගේ ජීවිතෙත් තිබ්බා තමයි. ඒත් එහෙමයි කියලා අඩා වැටිලා මූන නරක් කරන් ඉදලා මොනාද ලැබෙන්නේ. කොහොමටත් මම කුඩා කාලයේ ඉදලා විඳපු දේවල් එක්ක මට ජීවිතේ සතුටු වෙන්න බොහෝම පුංචි දෙයක් හොදටම ඇති”

මතේයෝ නමැති කුඩා දරුවා ඉපදෙන්නේ ඉතාලියේ දකුනු දිග වෙරළ තීරයේ ඉතා දිළිඳු ධීවර පවුලක අන්තිමයා ලෙසය.මතේයෝ සමගින් ඔහුගේ පවුලේ දරුවන් 7 දෙනෙකි. ඔහු ඉපදී ටික කාලයකදී ඔහුගේ පියා මිය යන අතර වැඩි මහලු සහෝදරයන් ධිවර රැකියාවට යොමු වී ඇත. ඉතා කුඩා අවධියේදී පාසල් ගියද අධික කෑම හිඟය හා දිළිදු කම නිසාම ඔවුන් සියළු දෙනාම පාසල අතහැර කිසියම් ජීවන වෘත්තියකට යොමු වී ඇත්තේ වෙනත් විකල්පයක් නොමැති නිසාවෙනි.

“අපි පොඩි කාලේ කන්න නැතිව ගොඩක් දුක් වින්දා. ඒ කාලේම යුද්දෙත් ආවා. යුද්දෙත් එක්ක අපි කබලෙන් ලිපට වැටුන. කන්න දෙයක් නැතිව අපි දවසම චෙස්නට් ඇට දෙක තුනක් විතරක් පුච්චලා කාලා දවස ගෙවපු දවස් තිබ්බා. සීත කාලේදී අපි වින්ද දුක් කියන්න වචන නෑ. දර කෑල්ලක් හොයාගන්න විදියක් නෑ බෝම්බ දානවා. ගෙවල් ඇතුලේ පවා අයිස් මිදුනා. අපි බඩගින්නේ සීතලේ අඬපු දවස් ඕනේ තරම්. ඇත්තම කියනවනම් පුංචි පාන් කෑල්ලට පුළුවන් උනා අපිට දිව්‍ය ලෝකයක් මවන්න. අපිට ගොඩක් ඇඳුම් තිබ්බේ නෑ. හැමෝටම තිබ්බේ කොට කලිසම්. සීත කාලේට කොච්චර දිග මේස් දැම්මත් කකුල් වලින් භාගයක් එලියේ. අපේ අම්මා අපි දුක් විඳින හැටි දැකලා දුකටම පපුවේ අමාරුවක් හැදිලා මියගියා”

මවගේ වියෝවෙන් පසුව තවත් කාලයක් එම නගරයේ වාසය කල මතේයෝ රැකියාවක් සොයා මිලානෝ නගරයට පැමිනෙද්දී ඔහු නව යොවුන් තරුණයෙකි. එහිදී පවා ඔහු රැකියාවක් සොයා ගැනීමට අධික වෙහෙසක් සේම කරදර රාශියකට මුහුන දුන් බව ඔහු පවසයි. පැමිනි මුල් කාලයේදී ඔහුගේ වාසස්ථානය වී ඇත්තේ ප්‍රධාන දුම්රිය ස්ථානයයි. කෙසේ හෝ මහන්සි වී සුළු රැකියාවක් ගැනීමට ඔහුට හැකිවී ඇත.

 “ මම ගොඩක් මහන්සිවෙලා කැපවීමෙන් රැකියාව කරා. මට ඉතාමත් හොද කරුණාවන්ත මහත්ත්යෙක් තමයි රැකියාව දුන්නේ. මම ඔහුගේ නම ආරක්ෂා වෙන විදියට වැඩ කරා. රැකියා ස්ථානයේ ප්‍රදානීන් මට ගොඩක් කැමතිවෙලා උසස්වීම් ලබා දුන්නා. මම රැකියාවෙන් විශ්‍රාම ගත්තේ එහි විධායක තනතුරක් දක්වා ගිහිල්ලා. මම මගේ සහෝදර සහෝදරියන්ට හැකි උපරිම අයුරින්ම මගේ යුතුකම් ඉටු කරා. අද ඔවුන්ගේ දරුවන් පවා මම කරපු උපකාර වලින් ඉතාමත් හොද ජීවිත ගත කරනවා දකිනකොට මට ලොකු සතුටක් දැනෙන්නේ”

මිලානෝ නගරයේදි හදුනා ගත් තරුණියක හා විවාහ වීමෙන් අනතුරුව ඔවුනට එක් පුතෙක් ලැබී ඇති අතර. ඔවුන් ඉතාමත් සතුටෙන් හා සාමයෙන් කාලය ගෙවා ඇත. එහෙත් නොසිතූ ලෙසක මතේයෝගෙ ජීවිතයට අවසනාව එළබ ඇත්තේද නත්තල් මාසයකමය.

“මමයි බිරිඳයි පුතයි නත්තලට කලින් මගේ නෑයෝ බලලා එන්න මගේ ගම් පලතට පිටත් වුනා පුරුදු විදියටම . අපි හැම වසරකම එහෙම යනවා. එතකොට පුතාට වයස අවුරුදු17ක් විතර. අපි එහෙ ගිහින් නෑයෝ බලලා සතුටුවෙලා ආපහු එන අතරෙදි මගේ වාහනය දරුනු අනතුරකට ලක් වුනා. මම දවස් ගානක් සිහිනැතිව හිටියා.මට හොද කල්පනාව ඇවිත් හොයලා බලනකොට බිරිදගෙයි පුතාගෙයි අවසන් කටයුතු ඉවරවෙලා සතියකටත් වැඩියි”

බිරිඳ හා පුතාගේ වියෝවෙන් පසුව ජීවිතයේ තනිකම කෙසේ හෝ දරාගත් මතේයෝ නැවත් විවාහයක් ගැන නොසිතූ බැව් පැවසු අතර. ඔහු හැකි සෑම අවස්‍ථාවකදීම ළමා සුභ සාධනය වෙනුවෙන් ඇප කැපවී කටයුතු කර ඇත. ඔහු සතු සි‍යළු දේපල ළමා සුභ සාධන ආයතනයකට භාර දී දැනට වසර 10කට පමන පෙර මෙම ආයතනයේ නේවාසිකයෙක් ලෙස පැමිණ ඇත්තේ සතුටුනි.

“මම ඉන්නේ සැහැල්ලුවෙන්. සතුටෙන්. මට තනිකමක් දැනෙන්නේ නෑ. මම මගෙන් වෙන්න ඕන යුතුකම් ලොකෙට ඉටු කරා. මම ලෝකයෙන් කිසිදෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. අනෙත් කාරණ්ය අපි ගොඩක් අය තමන්ට නැති දේවල් ගැනම වද වෙනවා. තියෙන එක දෙයක් ගැන සතුටු වෙන්න අපිට ගොඩක් අමාරුයි. මම පොඩි කාලේ ඉදලා ඉගෙන ගත්තේ තියෙන එක දෙයින් සතුටු වෙන්න. ඒක තමයි මගේ ජීවිතේ සතුටේ රහස”

මතේයෝගේ ජීවිතයේ රහස අපටද ඉතා වැදගත් නොවේදැයි ඔහුගෙන් සමුගෙන එන අතරේ පවා මට සිහිවුයේ ඔහුගේ සැහැල්ලු ජීවිතය දෙස බැලිමෙනි.


ලක්මිනී වෙදමුල්ල
ඉතාලියේ මිලානෝ සිට.


24 comments:

  1. බැඳීම් අඩුවෙන තරමට, තිබුනත් ඒ ගැන ලත නොවන තරමට සතුටින් ඉන්න පුළුවන් තමයි..
    එත් ලද දෙයින් සතුටු වෙන්න නම් සාමාන්‍ය මනුෂ්‍යයාට අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මොනතරම් ලද දෙයින් සතුටු වෙන්න හැදුවත් ඒක හරි අමාරු දෙයක් නේද? ස්තූතියි යසිත්

      Delete
  2. මං මෙහෙට ආවෙ අදමද මංද... කමන් නෑ... ආවනෙව...
    මතේයෝ ගෙ කතාව කියව්වට පස්සෙ හිතුණෙ අතෘප්තිකර සෝක බර මාන්දමික මිනිස්සු අතර මතේයෝ කියන්නෙ කොයි තරං අපූරු මනුස්සයෙක්ද කියල...
    කවදාවත් ඒ මනුස්සය තරං නෙවී ඊට අහලකට වත් එන්න බැරි මිනිස්සු කොයි තරං ඇද්ද

    ReplyDelete
    Replies
    1. ඔව් නේද මමත් මීට කලින් ඔයාව දැකල නෑ කියලා හිතෙන්නේ.
      ඔව් ඒ වගේ මිනිස්සු නිසා ලෝකය සුන්දර වෙනවා කියලයි මටත් හිතේන්නේ.

      Delete
  3. මිනිස්සුන්ට නැත්තේ ඔය දේ තමයි..... තියෙන දේ දිහා බලලා සතුටු වෙන්න පුළුවනි නම් අපි හැමෝම දිනපු මිනිස්සු තමයි...........

    ReplyDelete
    Replies
    1. තියෙන දේ දිහා බලල සතුටු වෙමු කිව්වට අපිට කරන්නම බැරි ඕක නේද.

      Delete
  4. දුකක් හිතේ ඉතිරි උන සිතුවිල්ලක්..

    ReplyDelete
    Replies
    1. පුංචි දුකක් දැනෙනවා නේද. මදුරංග කාලෙකින්

      Delete
  5. බුදු හාමුදුරුවෝ දේශනා කලේ සියල්ල අතහැරීමෙන් සතුට ලඟාකරගන්න පුලුවන් කියල, මෙතෙනදිත් වෙලාතියෙන්නෙ එහෙම දෙයක් නේද ?
    අතහැරියෙනැති වුනාට, නැතිවීමෙන් සන්තෝසයෙන් ජීවත් වෙනවා...

    ReplyDelete
    Replies
    1. අතහැරීම සතුට ලඟා කර දෙනවා උනත් ඒක කරගන්න බැරි එකම දේ ලොකුම දුක. එකක් අත හරිනකොට තව එකක් අල්ලගනනවා.
      ගොඩක් ස්තූතියි ඔබටත්

      Delete
  6. සරල වුනාම සතුට වැඩියි

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන් සරල කම සතුට ගේනවා.
      ස්තුතියි ඔයාට. ඔයාගේ බ්ලොග් එකක් තියෙනවාද

      Delete
    2. //ඔයාගෙ බ්ලොග් එකක් තියනවද //

      අයියෝ පුංචි මොනාද මේ අහන්නේ ??

      Delete
    3. අයියෝ පුංචි මොනාද මේ අහන්නේ ?? x 2 :D

      ඉවාන් පවුලුශා

      Delete
    4. ඇයි එහෙම අහපු එක වැරැද්දක්ද? :D ඇත්තටම මම දන්නේ නැති නිසයි අහන්නේ අනේ සමාවෙන්න ඉවාන් හිත රිදුන නම්. ඔයාගේ නමින් නෙමෙයිනේ බ්ලොග් එක තියෙනවනම් තියෙන්නේ. මට මග ඇරිලා වෙන්න ඇති.

      Delete
    5. ඔය මම උඩින් දාලා තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න

      Delete
  7. අයියෝ මම බොහොම අමාරුවෙන් උඩ තියන පත්තර කොටසින් කියෙව්වේ. බලනකොට මෙයා යටිනුත් ලියලනෙ.

    ලද දෙයින් සතුටු වීම සතුටේ මූලික රහස තමා.

    පුංචිව අදනෙ දැක්කේ .....

    ReplyDelete
    Replies
    1. //"අයියෝ මම බොහොම අමාරුවෙන් උඩ තියන පත්තර කොටසින් කියෙව්වේ. බලනකොට මෙයා යටිනුත් ලියලනෙ"// හිනාවෙලා පනගියා :D

      Delete
    2. අයියෝ සෙන්නා දැක්කේ නැද්ද ලොකු අකුරෙන් දාලා තියෙනවා. :D
      සෙන්නව දැක්කෙත් කාලෙකින්. ඔයාගේ පෝස්ට් එකක් දැක්කේ නෑ නේ කාලෙකින්

      Delete
    3. අයියෝ ඔව් මටත් ඒක දැකල හිනා. මොනා උනත් එයා අවංකවම කියලා නේද ඉවාන් :D

      Delete
    4. ෆෝන් එකෙන් බොලවු කියෙව්වේ ඉතින් හරියට දැක්කේ නෑ. කවදා කාපු ටකරන්ද ? :D

      අපි කවදත් අවංකයි හෙහ් හෙහ් :D

      Delete
    5. This comment has been removed by the author.

      Delete
  8. ජීවිතේ සතුට තියෙන්නෙ වැඩි ඈතක නෙමේ කියල හිතෙනව...සමහර විට අපි අවටින්ම ජීවිතේ සතුට හොයාගන්න පුළුවන් හරි අපූරුවට...හිතන්න වතුරකට වැටිල මරණ භියෙන් දගලන පුංචි කුහුඹුවෙකු ඉරටු කැබැල්ලකින් ගොඩට අරන් අපට මොන තරම් සතුටක් ලබන්න පුළුවන්ද කියල.... දැනෙනව හරිම අහම්බයකින් හමු වන මෙවැනි මතේයෝල ඉදිරියේ විටෙක දෛවය පවා ගල් ගැසී බලා ඉදිනවයි කියා.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම. ජීවිතේ සතුට තියෙන්නේ හරිම පුංචි දේවල් මත. ඒත් ඒක තේරුම් ගන්න අපිට ගොඩක් කල් යනවා ඒකයි කනගාටු. ස්තූතියි ඔයාටත් අදහස් දැක්වුවට

      Delete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...